මුදිත කරුණාමුනි –
යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනය සඳහා 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් කරනු ලබන ලේඛන 74 අතරට ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන ලද 1873 වර්ෂයේ පැවති පාණදුරා මහා වාදයේ ලේඛන ඇතුළත් කර ඇත.

රන්කොත් විහාරාධිපති, අමරපුර මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මහාචාර්ය කහපොළ සුගතරතන මහානායක මාහිමියන්ගේ හා පාණදුරාවාද අනුස්මරණ සභාවේ ඉල්ලීම මත බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පාණදුරා මහා වාදය පවත්වා වසර 150 සපිරුණු 2023 වර්ෂයේ යුනෙස්කෝව වෙත ඉදිරිපත් කර තිබිණි.
දීර්ඝ ක්‍රියාවලියකින් පසු යුනෙස්කෝව මෙම ඉල්ලීම අනුමත කරමින් 2025 වර්ෂයේ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කරමින්, සිය වෙබ් අඩවියේ මෙසේ සටහනක් තබයි.
“පාණදුරේ රන්කොත් විහාරයේ තබා ඇති මෙම ලේඛන හතර, අතිමහත් ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් දරයි. මෙම ලේඛන 19 වන සියවසේ මැද භාගයේ බෞද්ධයන් සහ කිතුනුවන් අතර ඇතිවූ ආගමික අසමගියට එරෙහිව මූලධර්මාත්මක කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් සඳහා පෙනී සිටින ක්‍රිස්තියානි සහ බෞද්ධ නායකයින් අතර ඇතිවූ ලිපි හුවමාරුව මෙන්ම සමස්ත සංවාදයේම පිටපත් කිරීමකින් සමන්විත වේ.”
“මෙම පිටපත් තීන්ත භාවිතයෙන් කඩදාසි මත අතින් ලියන ලද පිටු විසිහතහමාරක් පුරා විහිදේ. මෙම වාදය ආගමික ප්‍රජාවන් දෙක අතර සංහිඳියාව සහ අන්‍යෝන්‍ය ගෞරවය පෝෂණය කළේය. පසුව යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලබා ගත හැකි වූ ඉංග්‍රීසි පරිවර්තන, එම රටවල ආගමික ක්‍රියාකාරීන් සහ විද්වතුන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ අතර, බුද්ධාගම දියුණු ආගමක් ලෙස පිළිගැනීමට දායක විය.”







