වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගැනීමට නියමිතය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය මේ මස 23 වනදා ගොඩගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණි.
ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුනි.
ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ මෙම විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර ඇත.
අදාළ තරුණයාගේ මරණය සැක සහිත බවත් එබැවින් ඔහුගේ මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මියගිය තරුණයාගේ මව විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් අදාළ මෘතශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගියදා නියෝග කර තිබුණි. ( දෙරණ )







