ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා අපරාධ පරික්ෂණ අධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බව පෙරේදා මාතර අධිකරණයේ දී කියැවුනෙය. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කිව්වේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතූ තමන් දන්නා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවය.
නිශාන්ත සොයිසා කියන්නේ තමන් දේශබන්දුට හොඳටම බය වී ඇති බවය. එහෙත් පොලිස් පොඩ්ඩන් අපට කියන්නේ දේශබන්දුගේ බොහෝ අනීතික සිදුවීම්වල නිශාන්ත සොයිසා සිටි බවය. ඔහු දක්ෂ නිලධාරියෙක් වුවද තේරුම් ගත නොහැකි ලෙස දේශබන්දු ගැති වූ ඉතිහාසයක් ඇති බව පොලිස් ආරංචි මාර්ගම අපට මතක් කර දෙන්නේය. අහිසංකයින් කුඩුකාරයින් මැරයින් කළ නැති කුඩු ඇතිකළ යුක්තිය ප්රචාරක ව්‍යාපෘතියේ සැලකිය යුතු භූමිකාවක් කළ බවද කියැවෙන්නේය.
එකක් දෙකක් මතක් කර දෙන්නට පුලුවන. පොලිස්පති සී.ඩී. වික්රමරත්නගෙන් අනතුරුව පොලිස්පති ධූරයේ වැඩ ආවරණය කිරීමට සුදුස්සෙක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කථිකාවක් විය. එහි දී පාස්කු ප්‍රහාරයේ වගකීම් සම්බන්ධව ඇති වී තිබෙන අධිකරණමය තත්ත්වම මත ඉහළම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනා අත්හැර වෙනත් අයෙක් වෙත වගකීම් පැවරීමට උත්සාහයක් ආණ්ඩුව තුළ දියත් වී තිබිණි. එහිදී වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සම්බන්ධව ද ප්රමුඛ අවධානයක් යොමු විය.
එහෙත් පොලිසිය භාර ඇමතිවරයා සමග එක්ව දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා වීම සඳහා කෙළවරක් නැති ගේමක සිටියේය. ඒ ගේම විධායක බලතල සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් පාලනය කළ නොහැකි තැනකට ගෙන යන්නට මේ යුවලට කටයුතු කළහ.
දේශබන්දු අත්හැරීමේ රනිල්ගේ ආණ්ඩුවේ මේ උත්සාහය සම්බන්ධව ආරංචිය යත්ම ප්‍රියන්ත වීරසූරිය ස්ත්‍රී ලොලියෙක් බවටත්, ඔහුට එරෙහි මුල්‍යමය චෝදනා ඇතිබවටත් වූ පැමිණිලි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ කාර්යාංශය වෙත ගලා එන්නට විය. ඒ වනවිට පොලිස් බුද්ධි අංශයේ ප්‍රධාන වගකීම් දැරුවේ නිශාන්ත සොයිසාය. මේ අතර ප්‍රියන්ත වීරසූරියට එරෙහිව පොලිස් විශේෂ කාර්යාංශය හරහා විමර්ශනයක් ආරම්භ වන්නේය. ඒ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නටත් නොදන්වාය. විශේෂ කාර්යාංශය අභ්‍යන්තර නිලධාරීන් සඳහා කරන පරීක්ෂණවලදී බුද්ධි වාර්තා ලබා ගැනීම සිදුකළ යුත්තේ පොලිස්පතිවරයා දැනුම්වත්වය. එහෙත් එවැන්නක් සිද්ධ වී තිබුණේ නැත.
මේ සම්බන්ධව දැනගත් වහාම ඩී.සී. වික්‍රමරත්න නිශාන්ත සොයිසාට සහ දේශබන්දු තෙන්නකෝන්ට දන්වන්නේ මෙවැනි කුප්ප වැඩ නොකරන ලෙසය. එහෙත් දේශපාලන බලපෑම් ද සහිතව ඒ වනවිට පරීක්ෂණයේ අවසාන අදියරට පැමිණ තිබිණි. බුද්ධි වාර්තාව නිලධාරී කණ්ඩායමක් ලවා ඇගයීම ඊලඟ අදියරය. කෙසේ වෙතත් පොලිසියේ එම නිලධාරීන් සිය රාජකාරි හරියටම සිදුකළේය. ඒ නිසා ප්‍රියන්ත වීරසූරියට පසු අවස්ථාවක දී හෝ වැඩ බලන පොලිස්පතිවරයා වීමට හැකියාව ලැබිනි.
කෙසේ වෙතත් දැන් අප කල්පනා කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පවු බවය. ඔහු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ගේම දෙන්නට හැදුවේත් දේශබන්දුට බයෙන් විය හැකි බව අපේ හැඟීමය.
එමෙන්ම දේශබන්දු හා එක්ව සිදුකළ සෑම කුපාඩිකමක්ම කර ඇත්තේ ඔහුට බයේ විය හැකිය. මේ වනවිට ඔහු දේශබන්දුව පාවා දෙමින් සිටින්නේ අධිකරණයට බිය නිසා විය හැකි බව අපගේ තක්සේරුවය.
ඒ නිසා මේ අහිංසක බිය සුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයේ දැඩි ආරක්ෂාව යටතේ බේරා ගත යුතු බවට යෝජනා කරමු. නැතිනම් දේශබන්දුට බියෙන් ඔහුගේ හුස්ම පොද යා හැකි යැයි අපට සිතෙන බැවිනි.







