බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මේ සම්බන්ධව ඊයේ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට මේ කරුණ යොමු වුන බවත්ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී ගනු ලබන තීන්දු සම්බන්ධව දැනුම් දෙන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඔහු කීවේ මෙවැන්නකි.
දශක ගණනාවක් තිස්සේ දකුණේ උතුරේ හතරදිග් භාගයේම ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම් මානව හිමිකම් කඩ කිරීම් ඕන තරම් සිද්ධ වෙලා තියනවා. ඒක අපි දන්නවා. මේ රටේ ජනතාවට ප්රජාතන්ත්රවාදය අවශ්‍යයයි. මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු වෙන්නට ඕන.
අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත් වුන ආණ්ඩුවක්. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම ඒ චෝදනාවලට අපි අදාල විදිහට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.
දැන් නිශ්ඡිත ප්රශ්නය ඇවිත් තියෙන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන. ඒ නිශ්චිත සිදුවීම මතු වෙන්නේ ගොඩාක් සිදුවීම් අතර මැද. බටලන්ද වාර්තාවට අදාලව ඊයෙ කැබිනට් මණ්ඩලයේ දි විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිය යුතු වෙලාවක් මේ ගැන සාකච්ඡා කළා.
කැබිනට් මණ්ඩලය තීන්දුවකට ආවා මේ සතිය ඇතුළත දී මේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ එතනින් එහාට ගන්නා තීන්දු තීරණ ගැන අපි පසුව ප්‍රකාශයට පත් කරන්නම්. මේ සතිය තුළ දී එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.







