මෙවර ආරම්භ කළ වී අස්වනු නෙළීමේ දී මඩකලපුව අම්පාර ඇතුළු විවිධ ප්‍රදේශවලින් වී අස්වනු නෙලීමෙ යන්ත්‍ර රැගෙන එන හිමිකරුවන් අක්කරයකට පනස්දාහකට අධික මිලක් වී අස්වනු නෙළීමට අයකර ගන්නා බැවින් වී අස්වනු වෙළෙඳපලට නිකුත් කිරීම දක්වා වෙනත් කන්න වලට වඩා විශාල මුදලක් වැය වනු ඇති බව මහවැලි බී හා සී කලාපවල ගොවීහු පවසති.
එලෙස පිට පළාත්වලින් පැමිණෙන අස්වනු නෙලන යන්ත්‍ර හිමිකරුවන්ගෙන් ඇතැම් කණ්ඩායම් බ්‍රෝකර් ගාස්තු ලබා ගැනීමට හුරුවී ඇති අතර ඔවුනට ලබාදෙන බ්‍රෝකර් ගාස්තු ද ගොවීන්ගෙන් අය කරගන්නා බැවින් වී අස්වනු නෙළීමට යොදන මුදල දරාගත නොහැකි බවද ගොවීහු කියති.

මෙවර මහ කන්නයේ රජය, ගොවීන්ගේ වී මිලදී ගැනීමට සහතික මිලක් නියම කළද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මේ වනවිට තරගකාරී අයුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්රදේශයකටම ලොරි රථ යවා වී කිලොවක් රුපියල් 130 ත් 135 ත් අතර මිලකට ලබාගනිමින් සිටින එබැවින් රජයේ රජයේ ගබඩාවලට වී කිලෝවක්වත් අඩු මිලට ලබාදීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවද ගොවීන් කියති.
හැකි නම් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අවම කරගැනීම සඳහා ඊට යොදන පොහොර.තෙල්, කෘමිනාශක මෙන්ම යෙදවුම් මිල අඩු කරන ලෙසද ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති.
පවතින යෙදවුම් මිල තත්ත්වයන් යටතේ වි කිලෝවක්, නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 115 -,110 අතර මිලක් වැය වන බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවම වශයෙන් වී කිලොවකට රුපියල් 140 ක සහතික මිලක්වත් නියම කිරීමට රජයේ අවධානය යොමු කරන ලෙසද පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවීහු නැවත වරක් රජයෙන් ඉල්ලති.
මෙවර මහවැලි බී කලාපයේ පමණක් ගොවි පවුල් විසිපන්දාහකට ආසන්න පිරිසක් අක්කර හැටදාහක භූමි ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කර තිබෙන බව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලීය තොරතුරු වාර්තා කරයි.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මෙවර මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 40,000 ක් ලබාගැනීමට ගබඩා 36 ක් විවෘත කර තිබෙන බවය.







