දිනසේන රතුගමගේ –
ඊයේ (11) යාපනය හෝටලයක් තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ. මන්ත්‍රීවරයාගෙන් පහර කෑ පුද්ගලයා සැත්කමකට ලක් කර ඇතැයි රෝහල් අධ්යක්ෂ පී.සත්‍යමූර්ති මහතා පැවසීය.
හෝටලය තුළ දී ඇති වූ බහින්බස් වීමක් මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු සමග මන්ත්‍රීවරයා ගැටී තිබිණි.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇත. සීසීටීවී කැමරාවල දැක්වෙන දර්ශනවලින් පෙනෙන්නේ ඔහු පන්න පන්නා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය ය.
පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය. පසුව ඔහු රෝහලෙන් පිටවී ගොස් තිබේ.
මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
පහරදීම සිදුවීමට පෙර එම ස්ථානයේ වූ බහින්බස් වීමට අදාළ වීඩියෝවක් අර්ච්චුනා රාමනාදන් තම සමාජ මාධ්‍ය ගිණුම තුළ මෙලෙස පළ කර තිබුණි.







