බරපතල ජීවිත අවදානමක එකිනෙකා මරා ගනිමින් පවතින පරම හතුරෝ එකට එක් වෙති. සන්ධානගත වෙති., බලවත්ව සිටි අවධියේ දී කළ කුපාඩිකම් හෙළි දරවුවීමෙන් ඇතිවන අනාගත ව්‍යසනය, වත්කම් අහිමි වීම පිළිබඳ බිය, හිරේ විලංගුවේ නොවැටී පැවතීමේ අවශ්‍යතාවය සහිතව පොදු අපේක්ෂාව ජීවිතය බේරා ගැනීම වූ විට අනෙක් කිසිම කොන්දේසියක් ඒ අවදානම් මොහොතේ වලංගු වන්නේ නැත.
ඒ යථාර්ථය පිළිබඳ අපූරු කතාවක් ඉන්දියාවේ පෙන්ච්හි රුක්කාඩ් කඳුවැටියේ පිහිටි පිපරියා ගම්මානයේ දී ප්‍රකාශ වූයේය. ඒ සිදුවීමට අදාල වීඩියෝව අද අප අපේ දේශපාලන ක්ෂේත්‍රයේ අත්දකිනා යථාර්ථය ඉතාම පැහැදිලිව තේරුම් කර දීමට සමත් බව විශ්වාස කරමු.
රුඛාඩ් කඳුවැටියේ ජීවත්වන දිවියෙක් එම වන භූමියම වාසස්ථාන කරගත් වල් ඌරෙක් ගොදුරු කරගනු රිසිව හඹා ගියේය. මර බියෙන් දිව යන වල් ඌරා ගම්මානයේ පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටුනේය. පසුපසින් හඹා ගිය කොටියා ද ඌරා සමග ඒ ළිඳට වැටුනේය. දැන් මර බියෙන් දිවගෙන පැමිණි වල් ඌරා සහ වල් ඌරා මරා දැමීමට ඌ පසුපස පැන්නූ කොටියා එකම ළිඳකය.
දැන් දෙදෙනා පුදුමාකාර ලෙස සන්සුන්ය. ඔවුන් එකිනෙකාට පසුකර යමින් එකිනෙකාට ලං වෙමින් ජීවිතය බේරා ගැනීමට අරගල කරති. මේ අතර ප්‍රදේශයේ වනජීවී අංශ පැමිණ මේ වනසතුන් දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ. ඔවුන් මුලින්ම කරන්නේ මේ සතුන් දෙදෙනාගේ වෙහෙස නිවා ඔවුන් සන්සුන් කිරීම සඳහා පැළැල්ලක් දිය මතට හෙළීමය. දැන් ඊට ගොඩවූ වල් ඌරා සහ කොටියා ඉතාම සන්සුන්ය.
පැලැල්ලට නගින අතර වල් ඌරා කොටියාගේ පිටේය. කොටියාට වගක් නැත. අනතුරුව කොටියා ඉතාම සන්සුන්ව ආරක්ෂිත කුටියකට යොමු කරගන්නා වනජීවී අංශ අනතුරුව වල් ඌරාත් ළිඳෙන් ගොඩට ගන්නේය.
අවදානම් මොහොතක දී කිසිවෙකුට සතුරුකම් මිතුරුකම් ප්‍රතිපත්ති ජීවිත දර්ශන නැත. ඔවුහු අවස්ථාවට මුහුණදීමට එක් වෙති. ලෝක ධර්මතාවය එයය. මේ වීඩියෝව බලන්න….







