ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේ දී බඩෝවිට පදිංචි 24 හැවිරිදි තරුණයකුට ඊයේ (19) වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටි වෙඩික්කරු ගිනි අවිය ද සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. අපරාධය සිදුවී පැයක් ගතවන්නට මත්තෙන් ගිනි අවියත් සමග ඝාතකයා අත් අඩංගුවේය. මෑත ඉතිහාසයේ එවැනි සක්‍රීය ප්‍රති උත්තරයක් පොලිසියෙන් ලැබී තිබුණේ නැත.
මේ කෙටි සටහන ඝාතකයා අත් අඩංගුවට ගත් ඒ මෙහෙයුම දියත්වුන ආකාරය සම්බන්ධවය.
බඩෝවිට අසංක නැමැති පාතාලයා සහ කොස් මල්ලී යන අන්වර්ථනාමයෙන් හඳුන්වන පාතාලයා අතර දෙහිවල, ගල්කිස්ස හා කොහුවල ආශ්‍රිතව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ගැටුමක් පවතින්නේය. මුන් දෙන්නාම දැන් ඉන්නේ විදේශගතවය. විදේශගතවී ඉන්නා මේ අපරාධකරුවන් තමන්ගේ ගෝලයින් යොදවා එකාට එකා මරා ගනනේය. මේ වනවිට වෙඩිතබා සිදුකළ ඝාතන හතකට වඩා ප්‍රමාණයක් මුන් දෙන්නාගේ මරාගැනීම හේතුවෙන් සිදුවී තිබේ.
එවැනි වෙඩි තැබීමක් ඊයේත් සිද්ධ වුනේය. ඉන් තරුණයෙක් මිය ගියේය. 24 හැවිරිදි මිය ගිය තරුණයා සවිඳු තරුෂ නැමැත්තෙකි. ඔහු බඩෝවිට පදිංචිකරුවෙකි. කොස්මල්ලී නැමැත්තාගේ ගෝලයෙක් සේ සැලකෙන මෙම තරුණයාට වෙඩි තබා තිබුණේ බඩෝවිට අසංකගේ පාර්ශවයේ ඝාතකයෙකි. ඝාතකයා පදිංචි පොල්ගස් ඕවිට පන්සල් වත්තේය. නමින් ශ්‍රීනාත් ප්‍රනාන්දුය. අවුරුදු 47කි.

වෙඩි තබා පලා යෑම
ඝාතකයා මහ දවල් සිය බිල්ල ගෙන පලා යන්නේ ඔහු විසින් සැලසුම් කරන ලද මාර්ගයකය. ඔහුව රැගෙන යතුරු පැදිය හසුරුවන්නේ මේ වැඩේට පළපුරුදු දක්ෂ පැදිකරුවෙකි. වෙඩික්කරු සිරිපාල මාවතේදී වෙඩි තබා සැලසුම්කළ අතුරු මාර්ගයක් ඔස්සේ පලා යමින් සිටියේය.
මේ අතර දෙහිවල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරු තිදෙනකු පොලිස් ත්‍රීරෝද රථයෙන් වරෙන්තුකරුවකු අල්ලාගෙන එම අතුරු මාර්ගයේ එමින් සිටියේය. එම අවස්ථාවේදී මාර්ගයේ යම් වාහන තදබදයක් තිබිණි. කලබලයත් පැවති වාහන තදබදයත් හේතුවෙන් වෙඩික්කරු ගමන් කළ යතුරුපැදිය, පොලිස් ත්‍රීරෝද රථයට වෙට්ටුවක් දමා ඉදිරියට ධාවනය කරනු ලැබුවේය. අනතුරුදායකව සිදුවන ඒ මදාවි යතුරුපැදි හැසිරවීමට ත්‍රීවිල් රථය පදවමින් සිටි පොලිස් රියදුරාට යකා නැග්ගේය. පොලිස් රියැදුරා යතුරුපැදිකරුට ආවේගයෙන් කෑ ගසා බැන්නේය. පලා යන අපරාධකරු තමන් මේ වෙට්ටු දාන්නේ පොලිස් ත්‍රීවිල් රථයකට බවට නිච්චියක් නොතිබිණි. ඉස්සර කර ගන ගමන්ම හොඳ පදයක් කියා යතුරුපැදියේ පසුපස සිටි වෙඩික්කරු පොලිස් නිලධාරීන්ට බැන්නේය.
පොලිසියෙන් සල්ලන් වූ හැටි
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරන්ගේ නිවස පිහිටා තිබුණේ මේ පාරේය. යම් සැකකටයුතු හැසිරීම් සම්බන්ධව විමර්ශනය කරමින් ආවේශන රාජකාරියේ යෙදවූ බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් මේ අවට නිතරම රාජකාරි කරන්නේය. එසේ සිවිල් ඇඳුමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙක් සිය පෞද්ගලික යතුරු පැදියෙන් මේ ස්ථානය පසුකර යනවිට පොලිසියට කුණු කතාවෙන් බනින මදාවියා දුටුවේය. ඔහු සැකයක් නොසිතන සේ යතුරුපැදියෙන් ඔහු පසුපස පන්නා එක්වරම අසල තාප්පයකට හේත්තුවන සේ මග හරස් කර යතුරුපැදි කරු නැවැත්තුවේය.
ඒ සමගම ගිනි අවිය සහිත යතුරුපැදියේ පසු අසුනේ සිටි ඝාතකයා අවියත් රැගෙන බිමට පැන පොලිස් නිලධාරියා ඉලක්ක කර කොකා ගැස්සුවේය. වෙලාව හොඳය. ගිනි අවිය ක්‍රියාත්මක වුනේ නැත. එය බිම වැටුනේය. මේ සැනකින් පසුපසින් පැමිණි ත්‍රී රෝද රථයේ පොලිස් නිලධාරීන් ගිනි අවිය සහිත පුද්ගලයාගේ ඇඟට පැන ඔහුව පෙරළා ගත්තේය. මේ කලබැගෑනිය අස්සේ යතුරුපැදියත් එතන දමා පැදිකරු පලා ගියේය.
තමන් අත්අඩංගුවට ගත් සැකකරු සිරිපාල මාවතේ වෙඩික්කරු ඔහු බවත් ඔහු අත තිබුණු ගිනි අවිය එම වෙඩි තැබීමට යොදාගත් එක බවත් පොලිසිය හෙළිදරවු කරගන්නේ ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග සඳහන් කරනු ලැබුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙයට පෙර ද ඔහුට එරෙහිව චෝදනා ඇති බවය. ඒ හැරුණුකොට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයකදීම පොලීසියට ඔහු හසුවී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. .. යතුරුපැදිකරු මෙන්ම මෙම ඝාතන සැලසුම පිටුපස සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ මෙහෙයුමක් අරඹා තිබුණි. ( දිනමිණ පුවත්පත ඇසුරෙනි )







