ලලිත් චාමින්ද-
-
පහුගිය මාස 68ක කාලයක් තුළ ටින් මාළු ආනයනයට වැය කර ඇති මුදල රුපියල් බිලියන 41ක්…
ධීවර කර්මාන්තය ඵලදායී ලෙස දියුණු නොකර මෙරටට ටින් මාළු ආනයනය කිරිම සදහා පසුගිය වසර පහයි මාස අටක කාලය තුළදි (2019 සිට 2024 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන හතලිස් දහස්, අටසිය අනුපහයි දශම තුනක මුදලක් (40,895.3) එනම් දළ වශයෙන් රුපියල් බිලියන 41ක් වැයකොට ඇති බැව් ධිවර හා ජලජසම්පත් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2023 වර්ෂයේ පමණක් ටින් මාළු ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 6172.6කි. එනම් දළ වශයෙන් බිලියන 6කි. මෙම වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලය තුළ ද ටින් මාළු ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 2744.8ක මුදලක් එනම් දළ වශයෙන් බිලියන 2.75ක මුදලක් වැයකොට තිබේ.
විශේෂත්වය වන්නේ මේ අකාරයෙන් ටින් මාළු ආනයනය කිරීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කරන්නේ මත්ස්‍ය සම්පතින් ගහණ වර්ග කිලෝ මීටර .517,000 සාගර සම්පතක් සහිත මුහුදෙන් වටවූ දූපතක ජීවත්වන ජාතියක් වීම විශේෂ වී ඇත.
ටින් මාළු ආනයනය කිරිම සදහා මේ අයුරින් විශාල මුදලක් වැයකිරිම අනුමත කළ නොහැකි බව ධිවරයින් පවසති. ටින් මාළු ආනයනය සිමාකිරිමට කටයුතු කළයුතු බවද ධිවරයින් පෙන්වාදෙති.







