-
අවසන් කැඳවීමත් සිදුකරයි… සහල් ප්‍රශ්නය රජය සමග ගැටුමකට නොගොස් විසඳා ගන්නා ලෙස ජනපති සහල් ව්‍යාපාරිකයින්ට අවවාද කරයි… නියමිත මිලට අලෙවි කරන්නට නොහැකි නම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව දන්වයි…
-
සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට
-
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි
-
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240ය
-
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි
-
දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස්

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයන්ට අද නියම කළේය.
ඒ අවසන් වරටත් සහල් ව්‍යාපාරිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවමිනි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට නියෝග කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ රටේ දෙවැනියට වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවය. වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට අවවාද කළේය..
ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.
- නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.
දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය .
එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරාජා මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මලරමති ගංගාතරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ. වාසල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඒ.එල්. චන්දික ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







