-
අද පාර්ලිමේන්තුවේදිත් ඇසූ ප්‍රශ්නයට බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්‍යක්ෂකව ලිඛිතව උත්තර දෙයි….
ජාතික රෝහලට එන රෝගීන් ජාතික රෝහල් චතුරශ්‍රය තුළ පිහිටවා ඇති රථ ගාලෙන් පමණක් ප්‍රවාහන පහසුකම් සලසා ගත යුතු බවටත් පිටත කිසිම කුලී වාහනයක් රෝහල් චතුරශ්‍රය තුළට ඇතුළත් නොකළ යුතු බවටත් අවධාරණය කර පොලිස් නිලධාරීන්ට අනීතික විධාන ලිඛිතව ලබා දුන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලනට ඔහුට හිමි තමන්ගේ රාජකාරිය කියා දෙන ලෙස දන්වමින් බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්යක්ෂ වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
කිසිම කුලී වාහනයක් රෝහල් චතුරශ්‍රයට ඇතුළත් කිරීම තහනම් කර, ඇතුළත පිහිටුවා ඇති රථ ගාල් ප්‍රවර්ධනය කරන ලෙසට රුක්ෂාන් බෙල්ලන විසින් කොළඹ ජාතික රෝහල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට අවස්ථා කීපයක දී බලපෑම් කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පසුගිය 02 දා රුක්ෂාන් බෙල්ලන නියෝගාත්මක ස්වරූපයෙන් ලිඛිතව දන්වා සිටින්නේ පොලිස් ඒකකය මෙම රෝහලට අනුයුක්ත කර ඇති පරම රාජකාරිය රෝහල් චතුරශ්‍රය තුළ සංඥා පුවරුවලට අනුකුලව සහ පොළොවේ ඇඳ ඇති මාර්ග සලකුණුවලට අනුකූලව මාර්ග තදබදය පාලනය කිරීමට විනා රෝගීන් ගැන හෝ වෙනත් කුලී රථ කරුවන් පිළිබඳ කම්පා වන්නට නොවන බවය. රුක්ෂාන් බෙල්ලන මේ ප්‍රකාශය මාධ්‍යයට ලබා දී ප්‍රචාරයක් ලබා ගෙන තිබිණි.
මේ තත්ත්වය බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට දැන්වීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා රුක්ෂාන් බෙල්ලනගේ අනීතික හැසිරීම සම්බන්ධව පිටු 03ක වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාතික රෝහල් අධ්‍යක්ෂකට දන්වා සිටින්නේ මෙම වෛද්‍යවරයා ස්වකීය අත්සනින් යුතුව රථ ගාල් පවත්වා ගැනීම සඳහා ත්‍රී රෝද රථ රියදුරන්ට ලිපි නිකුත් කිරීමත් සිදුකර ඇති බවය. ඔහු සිය රාජකාරි සීමාවේ පිහිටුවන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික රෝහල් අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී.
ජාතික රෝහල ආශ්රිත මාර්ග පද්ධතිය ජාතික රෝහලට සහ ඒ ආශ්රිත ප්‍රජාවන්ට පමණක් වෙන් කරගැනීමට කොළඹ නගර සභාවෙන් කිසිම නෛතික ඉල්ලීමක් කර නැති පසුබිමක රථ වාහන තදබදයක් ඇති නොවන සේ ජාතික රෝහල ආශ්රිත ප්‍රජාවට මුල් තැන දෙමින් කළමනාකරණ සැලසුමක් දියත් කරනු විනා මහ ජනතාවට ප්‍රවේශ මාර්ග අවහිර කිරීමට අයිතියක් පොලිසියට නැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණ කරයි.
එමෙන්ම රෝගියෙකුට තමන්ගේ ආර්ථික ශක්තියේ ප්‍රමාණය අනුව කැමති ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේ හිමිකම උල්ලංඝණය කළ නොහැකි බව ද පෙන්වා දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කටයුතු කිරීමට ගොස් යමෙක් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමුවහොත් නඩු යන්නට වෙන්නේ රුක්ෂාන් බෙල්ලනට නොව, පොලිස් නිලධාරීන්ට බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඔහු ජාතික රෝහල් අධ්යක්ෂවරයාට දන්වා සිටින්නේ රුක්ෂාන් බෙල්ලනගේ මේ හැසිරීම දිගටම පැවතියහොත් සිදුවන්නේ ජාතික රෝහල රථ වාහන පොලිස් ඒකකය ඉවත් කරගැනීමට සිදුවන බවය.
මේ පිළිබඳව අද විපක්ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් විමසන ලදුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. පහත දැක්වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජාතික රෝහල් අධ්‍යක්ෂකට යැවූ ලිපිය ය.








