මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුවේ ඇතැම් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සහ රජයෙන් පාලන මිලට සහල් ලබාදෙන බව පැවසුවද පොළොන්නරුවේ තමන්ට කිසිදු මෝල් හිමියෙකුගේ හාල් වර්ගයක් පාලන මිලට ලබා ගැනීමට නොහැකි බව සහල් වාර්තා වේ. නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක පාලන මිලට දෙන බව පැවසුවද, මේ වෙන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල නාඩු සහල්වල හිඟයක් පවතින බවත්, ඇතැම් වෙළඳසැල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට අලෙවි කරනවා සේම පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි, ලබාගැනීමට නොහැකි බවත් නිරීක්ෂණය වී ඇත
මීට සාපේක්ෂව සම්බා සහල් කිලෝ එකක් රුපියල් 250 ත්, 260 ත් අතර මිලකටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල්
340 ත් 360 ත් අතර මිලකටත් අලෙවි කිරීමෙන් සහල් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහල් මිල පිළිබඳ අප කළ සොයා බැලීමකදී තොග සහ සිල්ලර වෙළඳුන් සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට පාලන මිලට සහල් නොදෙන නිසා රජය ප්‍රකාශ කරන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවය.

මේ වෙන විට පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට තොග වශයෙන් නාඩු සහල් කිලෝවක් ලබා දෙන්නේ රුපියල් 219 ත් 221 ත් අතර මිලකට බවත්, ඒ අනුව පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමේදී, තමන්ට ද ලාභයක් තබා ගනිමින් ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගනන් අනුව රුපියල් 250 ක් වැනි මිලකට නාඩු සහල් කිලොවක් ලබාදීමට සිදුවන බවත් තොග සහ සිල්ලර වෙළෙන්දෝ සඳහන් කරති.
මීට පෙර කන්න වලදී රුපියල් 100 ත් 120 ත් අතර මිලකට වී මිලදී ගත් පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරයකින් ලබාගත් වී තොග සහල් බවට පත්කර අධික මිලකට අලෙවි කරන බවත් මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර සහල් පාලන මිලට ලබාදීමට රජයේ අවධාන යොමු කරන ලෙසත් මේ වනවිට පොළොන්නරුවේ ගොවිජනතාවගෙන් මෙන්ම සහල් පාරිභෝගික ජනතාවගෙන් රජයට ඉල්ලීම් ලැබෙමින් ඇත.
අප මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමන්ට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වර්තමානයේ අධික මිලක් වැය බවය. සේවක වැටුප්, විදුලි බිල්, සහ අනෙකුත් ගාස්තු ගත් කල, අධික මිලක් දැරීමට සිදුවන බවත්, ඒ අනුව තමන්ට සහල් කිලෝවකින් ලාභය ලැබෙන්නේ රුපියල් 5 ත් 7 ත් අතර මිලක් බවත් ඔවුහු සඳහන් කළහ.







