කිසිම පළපුරුද්දක් නැති මාලිමාවේ කණ්ඩායමෙන් පාර්ලිමේන්තුව පුරවන්න ගියහොත් රටේ ආර්ථිකයට සිදුවන්නේ කේ.ඩී.යූ බස් රථයට සිදුවුන අකරතැබ්බය බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
මින්පසු තමන් පාර්ලිමේන්තුවට නොඑන බවත්, එළඹෙන පාර්ලිමේන්තුවේ දී කිසිවෙක් ඉල්ලා අස්වී හෝ තමන් පාර්ලිමේන්තුවට පත් කරන්නට උත්හාස කළහොත් තමන් සලකන්නේ එම පුද්ගලයා තමන්ගේ හතුරෙක් ලෙස බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා කියන්නේ 14 වැනිදාට දින දෙකකට පෙර තමන් සිය නිවාඩුව ආරම්භ කරන බවය. විදෙස් සංචාර කීපයක නිරත වෙමින් භාරගත් දේශන කීපයක් සහඳහා සහභාගී වෙමින් නිදහසේ ගත කරන බවය.
ඔහු කියන්නේ සිලින්ඩරයෙන් තරග වදින වැටුන ආර්ථිකය ගොඩ ගැනීමට තමන් සමග පුහුණු වුන පිරිස පාර්ලිමේන්තුවට එවන ලෙසය. මාලිමාව කියන අලුත් කණ්ඩායම ගැන හිටපු ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි. “සින්ඩරෙන් අලුත් කණ්ඩායමක් ඇති කරන්න ඕන. ඒ අය තමයි පළපුරුදු අය. මේ අයට ( මාලිමාවට) මේක හරවා ගන්න බෑ. මේ යන විදිහට කොහෙ යයිද කියලා දන්නේ නෑ. මේක කොහොම ද කරන්නේ බස් එකේ ඩ්රයිවර්ට ලයිසන් නෑ. කේ.ඩී.යූ බස් එක වගේ පෙරළිලා නවතින්නේ. ත්රීවිල් ලයිෂන් එක තියෙන්නෙ ත්රීවිල්වලට. බස් ලයිසන් බස් එකට. ඒත් දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ පළපුරුදු නැති තැනක. ප්රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තුවත් පලපුරුදු නැති අයගෙන් පුරවන්නලු. එහෙම පුරවලා ඒ අයට ආණ්ඩු කරන හැටි ගැන ටියුෂන් පන්ති පවත්වන්න බෑ. මේ අය කවුද?. දැකලා තියනවද ?.හරියට සැඟවුනු අමුත්තා වගේ. ”
“ඔවුන් විවිධ ක්ෂේත්රවල පලපුරුද්ද ඇති. පාර්ලිමේන්තුවට එන්න රට පාලනයේ පළපුරුද්දක් තියෙන්න ඕන. මහාචාර්ය වෙන්න නොවෙන්න පුලුවන්. තමන්ට වැඩේ කරන්න දක්ෂකමක් තියෙන්න ඕන. දන්න කෙනා ගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුළෙ කොයි තරම්නම් මහාචාර්යවරු හිටිය ද?. ”
රටේ ප්රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව හෝ වාහන නොවන බවත්, රටේ ප්රශ්නය ආර්ථිකය බැවින් සිල්ලර දේශපාලනය නොකරන පළපුරුදු ආර්ථීකය සම්බන්ධව අත්දැකීම් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
රටේ අනාගතය සල්ලි ගණන් කරන්න බැරි කොන්දොස්තරලාටත් ලයිසන් නැති ඩ්රැයිවර්ලාට භාර දී ඔවුන් එක්ක යනවා ද ඉදිරි ගමන යනවාද නැද්ද යන්න තරුණයින් තින්දු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා කීවේය.







