රුචිර ජයදේව –
යුක්තිය මෙහෙයුම හමාරය. එය හමාර වන්නේ නීතිය අවලමේ යැවූ තුට්ටු දෙකේ දේශපාලන නාඩගමක් පිලිබඳ පොලිසියට කිලිටි මතකයක් ඉතිරි කරමිනි. පාරෙ යන උන් අල්ලා කුඩු දමා ඇතුළට ඇරීමෙන් හෝ ටාගර්ට් කවර් කරගැනීමට පොලිස් නිලධාරීන්ට පීඩනයක් දුන් දේශබන්දුගේ යුක්තියෙන් සිවිල් ජනතාව පමණක් නොව පොලිසිය ද අයුක්ති සහගත ලෙස අපරහණය වූ ආකාරය දැන් හෙළි වෙමින් ඇත.
හොඳම උදාහරණය ඊයේ (31) පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවම පැවසුවේය. අණ බෙර ගහන්නේ නැතිව, රඟපෑම්වලින් තොරව මැතිවරණයක් පවතින මොහොතකත් පොලිසිය හරියටම ගේම ගසා ඇත්තේය. යුක්තිය රාජකාරි සඳහා බව කියමින් පොලිසියේ විතැන් කළ රාජකාරි ප්‍රමුඛතාවය නිසා ගොඩගැසුන සුළු පැමිණිලිවලින් හතරෙන් තුනකට වඩා වැඩ බලන පොලිස්පති නියමයෙන් විසඳා තිබෙන්නේය.
සුළු පැමිණිලි
ඊයෙන් අවසන් වූ ඔක්තොම්බර් මාසය ආරම්භ වනවිට පොලිස් ස්ථානවල සුළු පැමිණිලි 28,305ක් ගොඩගැසී තිබිණි. වැඩ බලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සුළු පැමිණිලි වහාම විසඳිය යුතු බවත් සුළු පැමිණිල්ලක් සඳහා පැය 48ක දී පොලිස් මැදිහත්වීමක් සිදුවී විසඳුම් ලැබිය යුතු බවටත් වන චක්‍රලේඛයක් නිකුත් වන්නේ මේ සුළු පැමිණිලි විභාග නොවීම දැවැන්ත අපරාධවලින් කෙළවර විය හැකි බවට වූ අත්දැකීම සමගිනි.
මේ චක්‍රලේඛයත් සමග 2024.10.05 වනවිට පොලිසිවල ගොඩගැසී තිබූ විවිධ පැමිණිලි 28305න් පැමිණිලි 24,381ක් දින 09ක් තුළදී විභාග කර අවසන් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේය. මේ වනවිට දිනපතා ලැබෙන පැමිණිලිත් සමග සමස්ථ පොලිස් ස්ථනවල පවතින්නේ නොවිසඳී ඇති සුළු පැමිණිලි 7000කට අඩු ප්‍රමාණයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
” මේ සියල්ල සිද්ධ වන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ රාජකාරිත් සමග. මැතිවරණය නිමා වූ පසු මීට වඩා බෙහෙවින්ම කාර්යක්ෂම සේවයක් පොලිසියෙන් ජනතාවට ලැබේවි…” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මත්ද්‍රව්‍ය වැටලීම්
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඍජු වගකීම පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවර තිබිණි. දැන් එම වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පොලිස්පතිවරයා වෙත ඍජුව වගකිව යුතු තත්ත්වයකි. සති පතා පොලිස්පතිවරයාට වාර්තාවක් නිකුත් කිරීම කළ යුතුය. රාජකාරි කළමනාකරණය කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධීකරණය සහිතව පළාතේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණයවන ආකාරයට විද්‍යාත්මකව අපරාධ මර්ධනය කිරීම රටට නොපෙනී මේ වනවිට සිදුවෙමින් තිබේ.
පසුගිය මාසය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලිවල මත්ද්‍රව්‍ය ජාවාරම ඉලක්ක කරගෙන රට පුරා වැටලීම් 4100ක් සිදුවිය. පුද්ගලයින් 4100ක් අත් අඩංගුවට පත් විය. එම වැටලීම්වලින් හොරොයින් කිලෝ 12ක් අත් අඩංගුවට පත් ගත්තේය. පෙරේදා හරක් කටාගේ සහ ආමි චුටිගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැපයුම්කරුවෙක් යුද හමුදාවේ බුද්ධි තොරතුරක් මත කරන විමර්ශන ජාලයකින් පසු අත් අඩංගුවට පත් වූයේය. ඔහු හරහා විශාල ජාවාරමක තොරතුරු හෙළිදරවු වෙමින් ඇත.
අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 4245ක් සිදුවිය. සැකකරුවො 4157ක් අත් අඩංගුවට ගැනුණි. අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 32කි. කොකොන් වැටලීම් 06ක දී කොකේන් ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් 5ක් අත් අඩංගුවට පත් විය. ගංජා වැටලීම් 4263කි. පුද්ගලයින් 4200කට වැඩි පිිරිසක් ගංජා කිලෝ 420ක් සමග අත් අඩංගුවට පත් විය. හෂීස් වැටලීම් 37ක දී හෂීස් කිලෝ 49ක් සමග සැකකරුවන් 30 දැන් පොලිස් අත් අඩංගුවේය.
මත් පෙති මත් කරල් වැටලීම් 121ක දී මත් කරල් සහ පෙති හය ලක්ෂ විසි දෙදහස් පන්සිය හැත්තෑ හතරක් සමග සැකකරුවන් 130ක් පොලිස් අත් අඩංගුවට පත් විය.
ගිනි අවි සහ ඝාතන
ඔක්තොම්බර් මාසය තුළ ටී පනස් හය ගිනි අවි දෙකක් උන්ඩ 1218ක් මැගසින් 05ක් අත් අඩංගුවට ගැනුණි. තවද පිස්තොල 5ය තරොම් 35ක් සහ මැගසින් එකක් පොලිස් අත් අඩංගුවට පත් විය. බෝර දොලහ ගිනි අවි 16ක් සහ ඊට යොදන පතරොම් 31ක්, රිවොල්වර 6ක් සහ පතොරොම් 11ක්, . ගල්කටස් අවියක්, රිපීටර් අවියක්, බඳින කඳන් තුවක්කු 68ක් සංවිධානාත්මක අපරාධ කරුවන් පාලනය කිරිමේ මෙහෙයු වලදී පොලිස් භාරයට ගැනුණි.
පසුගිය මාසය තුළ සංවිධානාත්මක අපරාධකරුවෝ හංවැල්ල, මාතර සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදී මනුෂ්‍ය ඝාතන 03ක් සිදුකළහ. හංවැල්ල වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයා ඇතුළු 02ක් දැන් අත් අඩංගුවට.
ග්‍රෑන්ඩ් පාස් ඝාතනයට සම්බන්ධ සැක කරුවන් 08 අත් අඩංගුවට ගෙන තිබේ. වෙඩික්කරු සහ ඝාතකයා මෙහෙයවූ පුද්ගලයා හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනා තවම අත් අඩංගුවට ගැනීමට විමර්ශන කරමිනි.
මාතර වෙඩි තැබීමෙ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 08ක් අත් අඩංගුවට ගෙන තිබේ.
කොහුවල ප්‍රදේශයේ 09 මාසේ සිදුවන ඝාතන සැකකරුවන් 03ක් ද ගෙවුනු මාසයේ දී ඝාතකයා රැගෙන පැමිණි පැදිකරු අත් අඩංගුවට ගෙන තිබිණි.
යුක්තිය නැතිනම් රටට කෙළවෙන බව කියා අපව තිගැස්වූ ඇත්තන්ට ජිවිතාවබෝධය ලැබෙන්න මේ දත්ත ටික ප්‍රමාණවත් බව විශ්වාස කරමු. දේශපාලන බලු දම්වැලෙන් බැඳ දැමූ පොලිස් සුනඛයින් නැති පොලිසියක් ලස්සනය. විශ්වසානීය ය. එතෙන්ට එන්න නම් පොලිසියට තවත් තව බොහෝ කාලයක් ගත වුනු ඇත.







