පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී තිබූ ආරක්ෂක ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය වෙත වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තු සේවා අංශය එම ගිනි අවි ලබාගෙන ඇති හිටපු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වන්නේය.
මන්ත්‍රී දීමනා, කාර්ය මණ්ඩ දීමනා, ඉන්ධන දීමනා, සහ මුද්දර ගාස්තු මෙසේ අහිමිවන පහසුකම්ය.
කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුන්ට ඉඩ කල සලසා දී තිබේ.
මහ මැතිවරණයෙන් යළි තේරී පත් නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්දය විමසීමෙන් පසු දිනම එම නිල නිවාස යළි ලබා දිය යුතුව ඇත. – සුජිත් හේවාජූලිගේ – ලංකාදීප







