පසුගිය ජනපතිවරණයේ දී පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත පැමිණිලි 1126 ක් ලැබුණු බව එම ආයතනයේ රාජ්‍ය දේපල අවභාවිතය වැලැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක නීතීඥ තුෂාණි කන්දිල්පාන පවසයි.
ඒ අතරින් පැමිණිලි 650 ක් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත් බවත් මහජන ක්‍රීඩාංගණ, රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙන් පමණක් පැමිණිලි 451 වාර්තා වූ බවත් ඇය පැවසුවාය.
මෙවර ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා විශේෂ වූ බවත් 2022 වසරේ උග්‍ර වූ ආර්ථික අර්බුදයත් සමඟ සිදු වූ ජනතා අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණය වීමත් 2023 වසරේ හඳුන්වා දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින්ගේ ප්රචාරක වියදම් සොයා බැලුණු පළමු මැතිවරණය මෙය වීමත් ඉන් ප්‍රධාන යැයි ඇය කීවාය. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී දෙවැනි සහ තුන්වැනි මනාප ගණන් කිරීම ද විශේෂ සිද්ධියක් යැයි ඇය ප්‍රකාශ කළාය.
මෙවර ජනාධිපතිවරණය සාමකාමීව සහ ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සහිතව අවසන් වීම ප්‍රශංසනීය බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් සියලුම අනුබද්ධ සේවා සපයන්නන්ට ප්‍රසංශාව පළ කරන බවත් ඇය කීවාය.
ප්රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා TISL ආයතනය මැතිවරණ නිරීක්ෂකයින් දෙසිය දෙදෙනෙක් (202) සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යෙදවූ බවත් මැතිවරණ ප්රචාරක වියදම් වාර්තා කිරීම සඳහා තවත් නිරීක්ෂකයින් 47 දෙනෙකු යෙදවූ බවත් පැවසූ නීතිඥවරිය TISL ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිරීක්ෂකයින් 244ක් මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූ බවද හෙළිකළාය.
මැතිවරණයට අදාළව බරපතල ගණයේ ප්රචණ්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වාර්තා නොවූ බවත් TISL ආයතනයේ නිරීක්ෂකයින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 112 ක් මැතිවරණ දිනයේදී වාර්තා කර තිබුණු බවත් ඇය පැවසුවාය.
ඒවායින් බොහොමයක් නීතිවිරෝධී ප්රචාරක කටයුතු පිළිබඳ සුළු සිද්ධීන් වූ බවත් පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය, පොදු දේපළ අවභාවිතය ආදී වූ මෙම නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව පොලිසියට හා ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඒවා නිවැරදි කිරීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත් බවත් ජාතික සම්බන්ධීකාරකවරිය කීවාය.
ඡන්ද දායකයින් සිය ඡන්දය භාවිත කිරීම ඉහළ මට්ටමක (මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව 75%ත් 80%ත් අතර) පැවැතීම ප්‍රශංසනීය යැයි ද මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය කෙරෙහි ඡන්දදායකයින්ගේ ඇති උද්යෝගය සහ විශ්වාසය පෙන්නුම් කරන්නක් යැයි ද ඇය ප්‍රකාශ කළාය







