නව ජනාධිපතිවරයා පත් වී සති දෙකක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රි ලංකාවට පැමිණිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම නියෝජිත පිරිස මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ලබා දී ඇති විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එලඹීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වන එම පුවත් පත සඳහන් කරන්නේ මෙම නියෝජිත පිරිස ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා හමුවී දැනට ක්‍රියාත්මක වන මූල්‍ය අරමුදල් වැඩසටහනේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එලඹීමට නියමිත බවය.
ජනාධිපතිවරණයෙන් පසුව රටේ යම් දේශපාලනික අස්ථාවර බවක් නිර්මාණය වුවහොත් එය ආර්ථිකයට දැඩි අහිතකර ලෙස බලපෑ හැකි බවට ඔවුන් අනුමාන කරන අතර විශේෂයෙන් ජනාධිපතිවරණයත් ඊළඟ මහ මැතිවරණයත් අතර ගතවන අතරමැදි කාලය තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීම එහිදී මූලික වශයෙන් අවධානයට යොමුවනු ඇති බව සඳහන් වේ.
මෙම පුවත්පත තවදුරටත් වාර්තා කරන්නේ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ වනවිට ජනාධිපතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල විශ්ලේෂණය කර ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් විසින් අනුමගනය කරන ප්‍රතිපත්ති පිළිබඳව හැදෑරීමක් සහ එයින් සිදුවිය හැකි වාසි අවාසි තක්සේරුවක් සිු කර ඇති බවයි.
ඇතැම් අපේක්ෂකයන්ගේ යෝජනාවලට අනුව සිදු කිරීමට නියමිත බදු සහන මඟින් රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11ක් පමණ අඩුවිය හැකි බවට පුරෝකථනය කර ඇති අයවැය හිඟය සියයට 3ත් 4ත් අතර ප්‍රමාණයකින් වෙනසකට ලක් වුහොත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කොන්දේසි බරපතල ලෙස කඩකිරීමක් විය හැකි බව ඔවුන් අනුමාන කර තිබේ.







