ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගය නොමිලයේ ප්‍රේක්ෂකයින්ට විවෘත කෙරේ. තරගය නිමා වන්නේ 30 වැනිදා ය.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ ඡන්දය පැවැත්වෙන 21 දා ස්වකීය ඡන්දය භාවිතා කිරීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට එදින විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. ඒ අනුව තරගය දින 06ක් තෙක් දීර්ඝ වී තිබේ.
ඡන්දය ලබා දීම සඳහා ප්‍රකාශ කර ඇති මෙම විවේක දිනයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදිනම පස්වරුවේ යළි කණ්ඩායම සමඟ එක්වන ලෙස දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ 2019 වසරේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේදීය. එහිදී තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් විය.
පසුගිය වසරේ නවසීලන්තයේදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය. මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
මේ තරගාවලියේ තවත් විශේෂත්වයක් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණේ.







