ලලිත් චාමින්ද –
භාණ්ඩාගාරයේ එකගතාවයකින් තොරව ආගමන හා විගමන දේපාර්තමේන්තුවේ නිලධාරින් සදහා ඉකුත් වර්ෂය තුළ (2023) දිරිදිමනා වශයෙන් රුපියල් විසි කෝටි, අසු හත් ලක්ෂ, අනු දෙදහස්, නවසිය හැත්තෑ හතරක මුදලක් (208,792,974) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දිරි දීමනා ක්‍රමය ශංශෝධනය කරමින් 2012 සැප්තැම්බර් මස 05 වැනි දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ආයතන අධ්යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෙත මේ සම්බන්දයෙන් ලිපියක් නිකුත්කොට තිබුණි.
මේ සදහා භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගත යුතු වුවද භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගත් බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.
සංශෝධිත දිරි දීමනා ක්රමයේ කොන්දේසි ඇතුළත් කරමින් ගෙවිම් ක්‍රමවේදය පිළිබඳ උපදෙස් ඇතුළත් කර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කළයුතු වුවද එවැනි උපදෙස් අඩංගු චක්‍ර ලේඛයක් විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.
එමෙන්ම දිරිදිමනා ක්‍රමය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබුණි. දිරි දිමනා ලබාගැනීමට ඉලක්කගත සිමාවන් හඳුන්වා දී තිබුණද, දිරි දීමනා ගණනය කිරිමේ දී ඒ පිළිබඳ අවධානය යොමුකොට නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.







