දිනසේන රතුගමගේ –
ජනාධිපතිවරණය සඳහා මෙවර දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්වීමත් සමගම දෙමළ ජාතික සන්ධානය දියාරූ වී ගොස් එක් පක්ෂයකට පමණක් සීමා වී තිබේ.
දෙමළ ජාතික සන්ධානය වශයෙන් සන්ධාන ගත වූ සියලුම පක්ෂ තනි තනිවම කටයුතු කිරීමට පටන් ගැනීම නිසා මේ වන විට එවැනි සන්ධානයක් නැති වී තිබේ.
දෙමළ පොදු අපේක්ෂකයා වන බී.අරියනේත්‍රම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහය දැක්වීම සදහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ දෙකක් වන ටෙලෝ ( TELO ) පක්ෂය හා ප්ලොට් ( PLOT ) පක්ෂය ඉදිරිපත් වී සිටියි.

එම පක්ෂ දෙකේ නායකයින් වන සෙල්වම් අඩෙයිකලනාදන් හා ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරු දෙදෙනාම මේ දිනවල දෙමළ පොදු අපේක්ෂකයා සමග තැනින් තැනට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන අතර ඔවුන් දෙදෙනා ජනතාව අමතමින් ඔහුට සහය ලබා දෙන ලෙසද ඉල්ලා සිටින්නට පටන් ගෙන තිබේ.
උතුරු පළාත පුරාම දෙමළ පොදු අපේක්ෂකයාගේ මූලිකත්වයෙන් ජන හමු පැවැත්වීමට මන්ත්‍රීවරු දෙදෙනා කටයුතු සලසා ඇති නමුත් ඔවුන් දෙදෙනා මෙතෙක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කිසිවක් ප්‍රකාශ කොට නොමැති අතර එම පක්ෂය ගැනද මැතිවරණ වේදිකාවල කිසිවක් සඳහන් කොට නොමැත.
දෙමළ ජාතික සන්ධානයේ ආරම්භක අවස්ථාවේදී ඊට ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ පහක් ඇතුළත් වූ අතර මේ වන විට දෙමළ ජාතික සන්ධානය වශයෙන් හැදින්වීමට සිදුව ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) පමණකි.
මුලින්ම ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් තිබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ( TULF )දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය.
පසුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. ( E.P.R.L.F )සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී ගොස් තනිවම කටයුතු කිරීම පටන් ගත්තේය.
පසුව දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ටෙලෝ පක්ෂය හා ප්ලොට් පක්ෂය ඉතිරි වූ අතර මීට පෙර පැවති මහ මැතිවරණයේදී ටෙලෝ හා ප්ලොට් පක්ෂ දෙක දෙමළ ජාතික සන්ධානයෙන් ගැලවී ඉවත්ව යාමට සූදානම් විය.
නමුත් එවකට දෙමළ ජාතික සන්ධානයේ නායකයාව සිටි ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විශාල වෙහෙසක් දරා පක්ෂයේ දෙදරායාම නවත්වා ගැනීමට සමත්විය.
සම්පන්ධන් මන්ත්‍රීවරයා මියගොස් මාස තුනක් යාමටත් පෙර දෙමළ ජාතික සන්ධනය නැමති සන්ධාන ගත දෙමළ පක්ෂය නොමැති වී ගොස් ඇත්තේ ටෙලෝ හා ප්ලොට් සංවිධාන එම සන්ධානයෙන් ඉවත්ව යාමත් සමගය.
දෙමළ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගම ප්ලොට් ( PLOT )හා ටෙලෝ ( TELO ) සංවිධාන දෙක ඔහුට සහය දැක්වීමට ඉවත් වී යාම නිසා මේ වන විට දෙමළ ජාතික සන්ධානය යනුවෙන් සන්ධාන ගත වූ දෙමළ පොදු දේශපාලන පක්ෂයක් නොමැති වී ගොස් තිබේ.







