ඉඳුනිල් කහටපිටිය –
අගමැතිනි ශෙයික් හසීනා ඇයට එරෙහි ප්රචණ්ඩ කැරැල්ලකින් ඉල්ලා අස්වී පලා ගොස් දිනක් ගත වී තිබේ. ඇය බංගලාදේශයට නිදහස ගෙනා නිදහස් ජනතා නායකයකා මෙන්ම බංගලාදේශයේ පළමු ජනාධිපති ශෙයික් මුජිබර් රහ්මාන්ගේ වැඩිමල් දියණිය ය.
ශෙයික් හසීනා කුලවත් කාන්තාවකි. ඇයගේ පවුලේ පියා සහ මාතෘ පාර්ශ්ව දෙකෙන්ම ඇයට ඉරාක අරාබි සම්භවයක් තිබේ, ඇගේ වංශය මෝගල් යුගයේ අගභාගයේදී බෙංගාලයට පැමිණි බැග්ඩෑඩ්හි මුස්ලිම් දේශක ෂෙයික් අබ්දුල් අවාල් ඩාර්විෂ්ගෙන් සෘජුවම පැවත එන්නකි.
එමෙන්ම ඇය උගත්ය. හසීනා Eden College හි උපාධිධාරිණියකි. ඇය විවාහ වන්නේ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති බෙංගාලි න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ එම්. ඒ. වසෙඩ් මියා සමඟය.
එමෙන්ම නිදහස් බංගලාදේශය නිර්මාණය කළ නායකයා වී පළමු ජනාධිපතිවරයා පමණක් නොව ඇයගේ පියා බංගලාදේශය වෙනුවෙන් දිවි පිදූ වීරයෙක් වූයේය. දකුණු ආසියාවේ පුද්ගල දේශපාලනය ඔපවත් වන්නේ ඛේදවාචකවලින්. හසීනා දේශපාලනය නිසා ඕනෑවටත් වඩා ඛේදවාචක අත් වින්දාය. බංගලාදේශයේ ප්‍රථම ජනාධිපති මෙන්ම හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහ්මාන් 1975 අගෝස්තු 15 දා ඝාතනය වූයේය. බංග්ලාදේශ කුමන්ත්රණයේදී හසීනාගේ සැමියා, දරුවන් සහ සොහොයුරිය ෂෙයික් රෙහානා හැරුණු විට මුළු පවුලම ඝාතනය විය. පවුලේ දිවි ගලවා ගත් සාමාජිකයන් වසර හයක් ඉන්දියාවේ නවදිල්ලියේ පිටුවහල්ව ජීවත් වූහ.
ඇයගේ පියා ඇතුළු පවුලම සමූල ඝාතනය කළ Ziaur Rahman ගේ හමුදා රජය විසින් හසීනාට බංග්ලාදේශයට ඇතුළු වීම තහනම් කරන ලදී.
දකුණු ආසියාවේ දේශපාලනය කිරීමට සුදුසු සියලුම කාරණා ඇය විසින් සපුරා තිබිණි. ඉන්දියානු පිටිවහලේ සිටි හසීනා යළි සිය රටට එන්නේ 1981 මැයි 17 දිනය. 1981 පෙබරවාරි 16 වන දින ඇය අවාමි ලීගයේ සභාපති ලෙස තේරී පත් වූ පසු ඉන්දියාවේ සිට බංගලාදේශයට ඇය පැමිණෙන්නේ රැජනක් ලෙසිනි. අසීමිත ජන ප්‍රසාදය විඳිමිනි.
එහෙත් මේ වනවිට 76 හැවිරිදි නායිකාව සිය පරපුර විසින් ගොඩනගනු ලැබූ දේශය අත්හැර ගොස්ය. මිනිස්සු වීදි බැස මහා අරගල කර ඇයව පළවා හැර ඇත. බංගලාදේශ ජනතාව විසින් පලවා හරින්නේ 2018 වසරේ ටයිම්ස් සඟරාව විසිනුත් 2022 දී ෆෝබස් සඟරාව විසිනුතු නම් කළ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස ලැයිස්තුගත කළ කාන්තාව ය.
ඇය දැන් අවතැන් කාන්තාවක් ලෙස ඉන්දියාවේ දේශපාලන රැකවරණය ලබමිනි. ඇය පලා යන්නේ 1976 දී සිය පවුල සමූල ඝාතනය කළ අවස්ථාවේ දිවි රැකගත් සිය සොයුරිය වූ ෂෙයික් රෙහානා ද සමගය. බොහෝ විට ඇයගේ ගමනාන්තය විය හැක්කේ මහා බ්‍රිතාන්‍යය ය.
හසීනා සහ ගෝටාභය
ෂෙයික් හසීනා මෑත ඉතිහාසයේ දී ජනතා කැරළි හමුවේ රාජ්‍ය අත්හැර පලා ගිය දෙවැනි දකුණු ආසියානු රාජ්‍ය නායකයා ය. මීට දෙවසරකට පෙර ලංකාවේ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතා කැරැල්ලක් හමුවේ පලා ගියේය.
එහෙත් ෂෙයික් හසීනා සහ ගෝඨාභය රාජපක්ෂගේ පලා යෑම වෙනස්ය. ගෝඨාභය පලා යන්නේ යම් ප්‍රමාණයක අර්බුදයක සිටි රටක් ස්වකීය දේශපාන ගොබ්බකම නිසා බංකොලොත් කර ලෝකය ඉදිරියේ අහෝ හාමත් කිරීමෙන් අනතුරුවය. බංගලාදේශ නායිකාව පලා යන්නේ අන්ත දුගී රටක් ආර්ථික නිර්ණායකයන්ට අනුව සමෘද්ධිමත් කළ ද රටේ ජනතාවට ගෞරවණියව සැලකිය නොහැකි වියරු ඒකාධිපති මානසිකත්ව දරාගත නොහැකිව සමාජය පීඩනය පුපුරා යෑම නිසාය.
ඇය පලවා හැරීම තෙක් දිවෙන අරගලයේ මුඛ්‍ය කාරණාව ඇයගේ සමීපතමයින් දේශපාලන හිතවතුන් සහ ගෞරව කරන්නන් ගෙන් සමන්විත නිදහස් සටනේ වීර පවුල් වෙත රජයේ රැකියා කෝටාවෙන් සියයට 30ක් ප්රදානය කිරීමේ තීන්දුව වුවත් ඇය කෙරෙහි වූ කෝපය සමාජය තුළ දැඩිව වර්ධනය වෙමින් පැවති එකකි.
මිනිස්සු ගෞරවය අපේක්ෂා කරති. මිනිස්සු මිනිස්සු ලෙස ජීවත්වීම අපේක්ෂා කරති. ඇයගේ ආර්ථික දියුණුව සහිත පාලනය තුළ නොලැබී තිබූ ප්‍රමුඛම දේ ගෞරවනීය නිදහස් ජිවිත ය. 1996 සිට 2001 දක්වා වූ සිය මුල් කාර්තුවේදීත්, 2009 සිට මේ දක්වා අඛණ්ඩවත් පස් වරක් රටේ අගමැතිනිය වූ ඇය වසර 20ක කාලයක් බංගලාදේශ පාලනය හෙබෙව්වාය.
හසීනා ගේ ඉරණම තීන්දුකළ ආසන්න කාලය
ඇයගේ දේශපාලන ජීවිතයේ අවසන් කාර්තු දෙකේ දී ඇය වෙත එල්ලවන්නේ මැතිවරණ දූෂණ, විරුද්ධවාදීන්, විද්වතුන්, වෘත්තිකයින්, මර්ධනය, විරුද්ධ මත දරන්නවුන් අතුරුදහන් කිරීම, බුරුතු පිටින් සිරගත කිරීම, අශීලාචාර දේශපාලන ඝාතන, සහිත සිය මතය නොදරන කිසිවෙක් නොඉවසීමේ විකල් බව පිළිබද රුදුරු චෝදනාවන්ය.
හියුමන් රයිට්ස් වොච් විසින් ඇයගේ ආන්ඩුව යටතේ පුලුල්ව පැතිරුනු බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ලේඛනගත කර තිබිණි. බොහෝ දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඇයගේ අදහස්වලට අභියෝග කිරීම නිසා ක්‍රමානුකූලව සහ අධිකරණමය වශයෙන් දඬුවම් කරනු ලැබූහ.
ඇයගේ ප්‍රධානම ප්‍රතිවාදිනිය වූ බෙගම් ඛලීඩා ශියා ඇය රට යන තුරුම හිටියේ සිර අඩස්සියේ ය. ඇය සිරගත කළේ අමූලික වූ චෝදනා එල්ල කරමින් බව කියැවිනි. එම චෝදනා ඉවත් කරගෙන දැන් ඇය සිර අඩස්සියෙන් නිදහස් කරගැනිමට සූදානම්ය. එහෙත් 78 හැවිරිදි බෙගම් ඛලීඩා ෂියා දැන් ඉන්නේ රෝගාතුරව ය. ඇයගේ අදහස් නොරිස්සීම නිසා ග්‍රාමීන් බැංකු හඳුන්වා දී බංගලාදේශයේ ග්‍රාමීය දුගී බව නැති කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කර වර්ෂ 2006 නොබෙල් සාම ත්‍යාගයට පාත්‍ර වු මුහම්මද් යුනුස් සිටියේ සිරගතවය. ඔහු දැන් 84 වියැතිය.
රැකියා කෝටාව හරහා පත්තු වුනේ මෙැනි අගතිගාමී පාලනයකින් පීඩා විඳි ජනතාවගේ පීඩනය ය. එහෙත් එය දැන් අවිනීත ව්‍යසනයක් තෙක් පැතිරෙමින් තිබේ. නීතියේ ආධිපත්‍ය ගිලිහෙමින් තිබේ.
මේ වනවිට සිදුවන දේ
නව රජයක් පිහිටුවීමට රට බලා ගෙන සිටී. බංග්ලාදේශයේ හමුදා ප්‍රධානියා අද (06) ශිෂ්‍ය විරෝධතා නායකයින් හමුවනු ඇත.
ඩකාහි සාමාන්‍යයෙන් අවුල්සහගත වීදිවල ගමනාගමනය යන්තමින් අරඹී තිබේ. රැකියා කෝටාවට එරෙහි විරෝධතා පැතිරීමත් සමඟ ජූලි මැදදී වසා දැමීමෙන් පසු පාසල් නැවත විවෘත වී ඇත. එහෙත් ශිෂ්‍ය සහභාගීත්වය අඩුය. රට පුරා ඇති වූ ප්රචණ්ඩත්වය නිසා මිනිසුන් 300 ක් පමණ මිය ගොස් සිටිති. තුවාල ලැබූ පිරිස් දහස් ගණනකි.
ලොව ප්‍රමුඛතම සන්නාම කිහිපයකට ඇඟලුම් සපයන සහ ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වන ඇඟලුම් කම්හල් අද වසා දම තිබේ. නැවත විවෘත කිරීමේ සැලසුම් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සිසු නායකයින් කියන්නේ කුමක් ද?
හසීනාට ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීමක් බවට පත් වූ රැකියා කෝටා විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයින් අඟහරුවාදා උදේ කියා සිටියේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වීමට අවශ්‍ය බවයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායකයෙකු වන නහිඩ් ඉස්ලාම් තවත් සංවිධායකයින් තිදෙනෙකු සමඟ ෆේස්බුක් හි වීඩියෝවක් මගින් කියා සිටියේ තමන් විසින් නිර්දේශ කළ රජය හැර වෙනත් කිසිම රජයක් පිළිගනු නොලබන බවය.
“හමුදාවේ සහාය ඇති හෝ හමුදාවේ නායකත්වයෙන් යුත් කිසිම රජයක් අපි පිළිගන්නේ නැහැ.” ඔවුහු අවධාරණය කළහ.
“අපි මුහම්මද් යුනුස් සමඟත් සාකච්ඡා කර ඇති අතර ඔහු අපගේ ආරාධනයෙන් මෙම වගකීම භාර ගැනීමට එකඟ වී ඇත,” ඉස්ලාම් වැඩිදුරටත් පැවසීය.
84 හැවිරිදි යුනුස් 2006 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේය. ඒ ග්‍රාමීන් බැංකුව හඳුන්වා දී බංග්ලාදේශයේ ග්‍රාමීය දුප්පතුන්ට ඩොලර් 100 ට අඩු කුඩා ණය ප්රදානය කිරීමෙන් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ කාර්යය ඇගයීමටය. නමුත් ඔහු වංචා කිරීමේ චෝදනාව මත ජුනි මාසයේදී අධිකරණයක් විසින් අධිචෝදනා කරන ලදී.
ඔහු එ් චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
හසීනාගේ ගමනාන්තය
හසීනා ඩකා නුවරින් පිටත්වීමෙන් පසු සඳුදා දිල්ලි අසල හින්ඩන් හි හමුදා ගුවන් තොටුපළකට ගොඩ බැස්ස බව ඉන්දීය රජයේ නිලධාරීන් දෙදෙනෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් එහිදී ඇයව හමු වූ බව පැවසීය. ඔවුන් ඇයගේ රැඳී සිටීම හෝ සැලසුම් පිළිබඳව විස්තර කළේ නැත.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේ හසීනා හින්ඩන් වෙත පැමිණීමෙන් පසු ඇයව “ආරක්ෂිත නිවසකට” රැගෙන ගිය බවත් ඇය එක්සත් රාජධානියට යාමට ඉඩ ඇති බවත්ය.
නව මැතිවරණ සැලසුම් කර ඇත
බංගලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර් – උස් – සමාන් අද දහවල් පැවසුවේය විරෝධතා සංවිධායකයින් හමුවීමට සැලසුම් කර ඇති බවය.
“අපගේ ප්රජාතන්ත්රවාදී මාවතේ මෙම සංක්‍රාන්ති මොහොත මධ්‍යයේ සංයමයෙන් සහ සන්සුන්ව කටයුතු කරන ලෙස මම බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිමි” විපක්ෂ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන ප්‍රධානී තරික් රහ්මාන් අද සිය X ගිනුම හරහා ඉල්ලා සිටියේය.
” නිසි ක්‍රියාවලියකින් තොරව නීතිය අතට ගැනීමට මිනිසුන් තීරණය කළහොත්එය විප්ලවයේ ආත්මය පරාජය කරනු ඇත…” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉදිරි මාර්ගය ගැන සාකච්ඡා කිරීමට හසීනාගේ දිගුකාලීන අවාමි ලීගය හැර – ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හමුදා ප්‍රධානී සමාන් පවසා ඇත.
අන්තර්වාර රජයක් සියලු පක්ෂ සහ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමෙන් පසු හැකි ඉක්මනින් මැතිවරණය පවත්වනු ඇති බව ජනාධිපති ෂහාබුදීන් ඊයේ රූපවාහිනියෙන් ප්‍රකාශ කලේය.
2018 දී බද්ධ කිරීමේ නඩුවකට වරදකරු වී සිරගත වූ නමුත් ඇගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීම නිසා වසරකට පසුව රෝහලකට මාරු කළ, හසීනාගේ දේශපාලන සතුරා වූ BNP සභාපතිනිය වන බෙගම් ඛලීඩා ෂියා වහාම නිදහස් කිරීමට “ඒකමතිකව තීරණය කළ” බව ද ඔහු පැවසීය.
78 හැවිරිදි ඛලීඩා ෂියා BNP වැඩබලන ප්‍රධානී තරික් රහ්මාන්ගේ මවය. BNP ප්‍රකාශකයෙකු සඳුදා පැවසුවේ Zia රෝහල්ගතව සිටින අතර “සියලු චෝදනා නීත්‍යානුකූලව ඉවත් කර ඉක්මනින් පිටතට පැමිණෙනු ඇති” බවයි.








