දිනසේන රතුගමගේ
චාවාකච්චේරී රෝහලේදී ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක්ට දායක වුන එම රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රාමනාදන් අර්ජුන මහ රෑ මන්නාරම රෝහලට අනවසරයෙන් ගොස් එහි සිටි වෛද්‍යවරුන්ට පහර දීමට තැත් කිරීම නිසා ඔහුව පොලීසිය විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන ඇත.
වෛද්‍යවරයාව මන්නාරම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහුව මේ මස 7 වෙනිදා දක්වා ඔහුව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මන්නාරම රෝහලට කඩා වැදී එහි වෛද්‍යවරුන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී වෛද්‍යවරුන් මන්නාරම පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙම වෛද්‍යවරයාව අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු යාපනයේ චාවකච්චේරී රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා වශයෙන් පත් කිරීමෙන් පසුව උතුරේ සෞඛ්‍ය බලධාරීන්ව දැඩිලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට කීපයක්ම යොමු කොට තිබුණි.
අවසානයේදී යාපනයේ සිට වෛද්‍යවරු පිරිසක් පැමිණ චාවකච්චෛ්රි රෝහලට ඇතුලු වී පහර දි තිබිණි. මේ තත්ත්වය තුළ තමන් කොටි සංවිධානයට පවා හිතවත් බව වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ තමන්ට බලපෑම් එල්ල කරන වෛද්‍යවරුන්ට සහ පළාත් සෞඛ්‍ය බලධාරීන්ට පණිවිඩයක් දෙමිනි.
චාවාකච්චේරී පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ජනතාව විශාල පිරිසක් රෝහලට අවට රැස් වී ඔහුව පොලිස් අත් අඩංගුව ගැනීමෙන් වලක්වාලූයේ ය. ඔහු දින ගණනාවක් රෝහල තුළ රැඳෙමින් රාජකාරි කළේය.
මේ කාලය ඇතුළත ඔහුට එරෙහිව චෝදනා ගණනාවක්ම එල්ල වී තිබූණි.
පසුව ඔහුව පරීක්ෂණ සදහා කොළඹට කැඳවා තිබූ අතර කොළඹ ගිය වෛද්‍යවරයා කොළඹ සිට එන ගමන් මන්නාරමට පැමිණ මන්නාරම රෝහලේ වෛද්‍යවරුන්ට පහර දීමට තැත් කොට තිබේ.







