යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී ජූලි මස 31 වන දින නාවික හමුදා යාත්‍රාවක ගැටී අනතුරට ලක් වූ ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිටි ධීවරයා ගේ මෘතදේහය ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (02) භාර දී ඇත.
මෙසේ මියගොස් තිබුණේ ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ පදිංචි එස්.මලයිවාමී නැමති 51 හැවිරිදි ධීවරයෙකි. අනතුරින් පසු තවත් ධීවරයෙක් අතුරුදහන්ව ඇති අතර එම ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත.
නාවික හමුදාව වාර්තා කර ඇති පරිදි සිද්ධිය මෙසේය.
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා, අනවසර ධීවර කටයුතු වල නිරත වන බව නාවික හමුදාවට නිරීක්ෂණය වී ඇත.
එම ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා 2024 ජූලි මස 31 වන දින රාත්‍රී කාලයේ නාවික හමුදා යාත්‍රා යෙදවීමට කටයුතු කෙරිණි. එහිදී, එම අනවසර ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු මෙහෙයවමින් සිටින අවස්ථාවේදී, නාවික හමුදා නියෝගයන්ට ප්‍රතිරෝධය දක්වා (Aggressive Manoeuvre) නාවික හමුදා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී පලායාමට සැරසුන එක් ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉදිරියට යාත්‍රා කර පෙරළී, මුහුදුබත් වී ඇත.
එහිදී, ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) මුදා ගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මුහුදුබත් වෙමින් තිබූ යාත්‍රාව වෙත ජීවිත ආරක්ෂක උපකරණ යොමුකර එහි සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගැනීමට කටයුතු කර තිබේ.
මුදාගත් ධීවරයින් අතරින් එක් ධීවරයෙකුගේ තත්වය අසාධ්‍යව පැවති බැවින්, එම ධීවරයාගේ ජීවිතය බේරාගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයට ආසන්නයෙන්ම පිහිටි පුංගුඩුතිව් රෝහල වෙත කඩිනමින් ඔහුව යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත. එහෙත් එම උත්සාහය ව්‍යාර්ත කරමින් එම ධීවරයා රෝහල වෙත ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති බවට රෝහල් බලධාරීන් විසින් තහවුරු කළ බව නාවික හමුදාව කියයි.
එමෙන්ම, මුහුදේ පැවති රළු ස්වභාවයත් දැඩි සුළං තත්වයත් හමුවේ අනතුර හේතුවෙන් තවත් ධීවරයෙක් එම මුහුදේ අතුරුදහන්ව ඇත. එම අතුරුදහන් වූ ධීවරයා සොයා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවූ අතර, එම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවන්ද සම්බන්ධ විය.
නාවික හමුදාව විසින් මුදවාගත් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වූ ධීවරයන් දෙදෙනා (02) සහ ජීවිතක්ෂයට පත් ඉන්දීය ධීවරයාගේ මෘතදේහය ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ඉන්දීය නාවික හමුදාවේ ‘INS BITRA‘ නෞකාව වෙත භාරදීම 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.
මෙම මරණය සහ අතුරුදහන් වූ ධීවරයා සම්බන්ධව ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළ කළ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගෙන්වා එම අවවාදාත්මක ස්වරූපයක් සහිත අප්‍රසාදය පළ කළේය.
මීට පෙර ඉන්දිය ධිවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඉන්දීය ධීවරයින් විසින් පහර දී නාවික හමුදාවේ නිලධාරියෙක් මරා දැමූ අතර ඒ සම්බන්ධව විධිමත් විරෝධයක් රටක් ලෙස ගොනු කිරීමට පවා ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටි පසුබිමක ඉන්දීය රජය මෙම දැඩි අවවාදය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත.







