පොලිස්පතිවරයාට නොවැම්බර් 11 වැනිදා දක්වා රාජකාරි තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති නියෝගය නීති විරෝධී බවත් එම නියෝගය පිළිනොගන්නා බවත් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශක් කරමින් අද (26) පැවසීය.
ඔහු කීවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර බවත්, පාර්ලිමේන්තුවේ වැදගත්ම ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීමක් සම්බන්ධව තීන්දු ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම බලයක් නැති බැවින් පොලිස්පතිවරයාගේ ධූරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත බවය. හිතූ හිතූ ලෙස පොලිස්පතිවරයෙක් කණෙන් අල්ලා දොට්ට දැමීමට කිසිවෙකුට නොහැකි බව ද අගමැතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව තවමත් පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් බව කී ඇගමැතිවරයා එම ධූරය පුරප්පාඩු වී නැති බැවින් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාගේ කාර්ය භාර්ය අවහිර කරමින් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නෛතික ප්‍රතිපාදන නැතැයි කීවේය.
නොවැම්බර් 11 දක්වා වැඩ අත්හිටුවමින් පොලිස්පති සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කළ යුතු යැයි පාර්ලිමේන්තුව යෝජනා කරන බවත්, පූර්ව කථානායකවරුන් විසින් ලබා දුන් තීන්දු සමාලෝචනයය කරමින් කථානායකවරයා මැදිහත්වී පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරගැනීම සඳහා එම අධිකරණ නියෝගය බල රහිත කරන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.
අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මෙසේය.

අද දින මේ තත්ත්වයට තුඩු දුන් ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා පොලිස්පති ධූරය දරමින් ආරක්ෂාව සහ එයට අදාල කටයුතු සහ ජනාධිපතිවරණය පිළිබඳ පූර්ණ බලය ඇති මැතිවරණ කොමිසමට සහාය වෙමින් කටයුතු කරමින් සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි මස 25 වැනිදා පොලිස්පතිතුමාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගක් නිකුත් කරලා තියනවා. ඒ වගේම ඒ පළිබඳ නැවත අහන්න නොවැම්බර් මාසයේ 11 වැනිදාට නියම කරලා තියනවා.
මුළු රටම දන්නාව නොවැම්බර් මාසයේ 11 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පවත්වා හමාරයි. නව ජනාධිපතිවරයා දිවුරුම් දී හමාරයි. එතෙක් පොලිස්පතිවරයා අපේ රටේ මැතිවරණය කොමිසම සමග කටයුතු කිරීමත් ඒ වගේම අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ඔහු වෙත පැවරී ඇති බරපතල වගකීම අත්හිටුවීමටත් මෙසේ තීරණය කිරීම විශාල ආන්දෝලනයකට රට පරිවර්තනය කරලා තියනවා. පාර්ලිමේන්තුව සමගමය.
ඒ නිසා මම සැකවින් කරුණු කීපයක් ඉදිරිපත් කරනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පළිබඳ මූලික අයිතිවාසිකම් නඩු නවයක් තියනවා. ඒ පිළිබඳ විස්තරය ඉදිරිපත් කළ හැකියි හැන්සාඩ් ගත වීම සඳහා.
ගරු කථානායක තුමනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ අංගයකි. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ අරමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103/2 වගන්තිය මගින් දක්වා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විසින් එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දෙන තෙක් ක්‍රියාත්මකවන වාරණ නියෝග ලබා දීමේදී එම වාරණ නියොගය පළමු වරට මෙම නඩු විභාගයට ගැනෙන 2024 නොවැම්බර් 11 වැනිදා සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට දැනට තියන තත්ත්වය අනුව අර්ථ නිරූපණය තමයි මේ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින්. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් ලබාගෙන නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 ඈ 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත ව්‍යවස්ථාදායක සභාව විසින් එවැනි වැඩ බලන පත්කිරීමක් මිස දින 14කට නොවැඩි කාලයක් අඛණ්ඩවව පොලිස්පති ධූරයේ කටයුතු කිරීමට කිසිදු තැනැත්තෙක් පත් කළ නොහැක.
ගරු කථානායක තුමනි.
මෙවැනි තත්ත්වයක් ඇතුළත ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා ද අපේක්ෂකයෙක් ලෙස පත්වන විට වැඩ බලන පොලිස්පතිවරයා අවදානම් සහගත තත්ත්වයකට පත් වේ.
ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි අද දින උදේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා තියනවා. නාම යෝජනා දෙන දිනය මැතිවරණය පවත්වන දිනය පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාවෙන් අවසරයක් ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඈ ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බහුතරයකගේ සහයෝගය ලබා ගනිමින් ධූරයේ සිටින පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යානුකූලව ඉවත් කිරිමේ බලය තියෙන්නේ. මේ බව ඊයෙත් ගරු සභා නායකතුමා පෙන්නුවා.
වැඩ බලන පොලිස්පත්වරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් වෙනත් අයෙක් පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ කියවා බලන්න පොලිස් ආඥා පනත. මුල සිට අගට කියවන්න කාලය ගන්නේ නෑ. මා සභාගත කරනවා පොලිස් ආඥා පනත. අපි මේක දන්නේ නැතිනම් ගිහින් කියවන්න. ගිය වාරයේ කලින් පොලිස්පතිවරයෙක් සම්බන්ධවත් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා.
ඒ නිසා පොලිස්පතිවරයෙක් කණෙන් අල්ලා දොට්ට් දාන්න බෑ. එහෙම හිතන් ඉන්න අය ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. ඒ නිසා පොලිස් ආඥා පනත මගින්, එකී පොලිස් ආඥා පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයා වෙත පවරා ඇත.
පොලිස්පතිවරයාට තම ධූරයේ රාජකාරි තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත.
එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධූරයේ කරනු ලබන රාජකාරි කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩ බලන පත්වීමක් ද කළ නොහැකිය. තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති ය. ධූරය හිස් වී නැත. නොයෙක් දේවල් අර්ථ නිරූපණය කළ හැකිය.
නමුත් පොලිස්පතිවරයා පත් කළ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ගරු කථා නායක තුමනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව තියෙන්නේ පාර්ලිමේන්තුව යටතේ. පාර්ලිමේන්තුවට සමගාමීව තියන ව්‍යවස්ථාදායකයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාවේ ඕනෑම තීරණයක් ව්‍යවස්ථාදායකයේ තීරණයක් බවට පත් වන්නේ ඒ නිසයි. එය පාර්ලිමේන්තුවේ කැමැත්ත ප්‍රකාශකිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ තීරණ පාර්ලිමේන්තු පාලනයට පමණක් යටත් වේ. පාර්ලිමේන්තුව හැර වෙන කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ තීරණයන් සඳහා කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකියි.
ගරු කතානායක තුමනි.
නොයෙක් අය අර්ථ නිරූපණය කළා සංඛ්‍යා එකතුව, අඩු කිරීම, වැඩි කිරීම ගැන. මම ඒ ගැන කතා කළේ නෑ. ව්‍යවස්ථා දායක සභාවේ අභ්‍යන්තර තීරණයන් බාහිරව කතා නොකරන බවට අපි එහි සභිකයන් ලෙස පැහැදිලි තීරණයක හිටියා. විපක්ෂ නායකතුමත් හිටියා. මමත් හිටියා. ගරු කථානායක තුමා තමයි ව්‍යවස්ථාදායක සභාවේ නිල වශයෙන් සභාපති. අපේ අනෙක් සභිකයන් ගේ නම් ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒ නිසා ඒ ගත්තා වූ තීරණය ශ්‍රි ලංකාව තුළ වෙනස් ආකාරයකට පත් කිරිම සඳහා කතා නායකවරයා, අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක්, විශේෂඥයන් තුන් දෙනෙකු සමන්විත වු ව්‍යවස්ථා දායක සභාවට පාර්ලිමේන්තුව විසින් මෙම තහවුරු කිරීමේ බලය පවරා දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදයක කාර්යයක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැකියි. යළිත් මා කියනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි. ව්‍යවස්ථාදායක සභාවේ බලය අධිකරණයෙන් විමසා බැලිය නොහැකියි.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ.
ගරු කතා නායක තුමනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදය සභාව රැස් වුනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාවෙන් ගන්න තීරණ සඳහා සම්පූර්ණ එකඟතාවය තියනවා. අපේ අනෙක් සභික මන්ත්‍රිතුමා ඉන්නවා. ජනාධිපති තුමාට පත් කළහැකි නියෝජිතයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉන්නවා. ඒ වගේම සාගර කාරියවසම් මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ගේ නියෝජිතයා හැටියට ඉන්නවා. අපේ විපක්ෂ නායතුමාගේ නියෝජිත ලෙස කබීර් හෂීම් මැතිතුමා ඉන්නවා. මේ අය සියලු දෙනා අත්දැකීම් සහිත විවිධ අර්බුදකාරි තත්ත්වයට මුහුණ දුන්න ක්‍රියාදාමයට මුහුණ දුන්න අය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යළිත් සඳහන් කරන්න කැමතියි, පාර්ලිමේන්තුවට අයත් වරප්‍රසාද බලතල මුක්තිය පිළිබඳ තිබෙන බලය හැරුණු කොට පාර්ලිමේන්තුව විසින් අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියා කරනු ලබන අතර එහිදී ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සකස් කරන නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකියි.
එබැවින් පාර්ලිමේන්තුවේ නිර්මාණයක්වන ව්‍යවස්ථා දායක සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට අධිකරණ බලයක් නොමැත. එබැවින් වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ලබා දුන් අනුමැතිය සම්බන්ධයෙන් ආණඩුක්රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය ආපසු හැරවිය නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතුයැයි මම ගරු කථානායක තුමාට යළිත් මේ ප්‍රකාශයේ දී සඳහන් කරන්න කැමතියි.
එසේ නොවන්නේ නම් ව්‍යවස්ථා දායකයේ බලය උපරිමය පාර්ලිමේන්තුවට යටත්ව පාවිච්චි කිරීමට ඇති ව්‍යවස්ථා දායක සභාව බල ශූන්‍ය ආයතනයක් බවට අප විසින්ම පත් කරනු ඇති. ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නේ අපයි. කතානායකතුමා ලෙස ඔබතුමා එහි ප්‍රධානත්වය දරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසයි. ඒ නිර්දේශයන් තෝරාගැනීම් ගැන ජනාධිපතිවරයාගේ තෝරා ගැනිම් නිර්දේශ කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. ඒ අනුව ගන්නා තීරණය ජනාධිපතිවරයා වෙත දැන්වීම ගරු කථානායක තුමාගේ බලයයි. වගකීමයි. ඔබතුමා කර ඇත්තේ එපමණයි. ඒ සඳහා විවිධ අර්ථ නිරූපණ දීමට අප පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාදායක සභාවත්, රාජ්‍යයේ ප්‍රධාන නිලතලත් හෑල්ලුවට ලක් කිරීමේ භායනක උත්සාහක සමහර දේශපාලකයින් යෙදිලා තියනවා. එයින් වලකින ලෙස එම දේශපාලකින්ගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ උත්තරිතර නියෝගයන් ලබා දී ඇති කථානායකවරුන් අතර දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා ද ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව අධිකරණයේ ඇඟිලිගැසීම්වලට ලක්වන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ප්‍රකාශකළ අවස්ථා ඔබතුමාටත් මටත් සිහිපත් වෙනවා.
ඒ වගේම අපේ චමල් රාජපක්ෂ මැතිතුමා ඒ තීන්දුව යළිත් ගෙන තව වාරයක් ප්‍රකාශ කර තියනවා. ඒ නිසා අපි උත්තරීතර පාර්ලිමේන්තුවක් හැටියට ඉටු කළ යුතු කාර්ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමු.
ඒ වගේම ව්‍යවස්ථාවේ 4 (අ) ව්‍යවස්ථාව යටතේ රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සතුව තිබෙනවා. පොලිසිපතිවරයා පොලිසිය යුද හමුදා බලඇණිවලට සමාන විශේෂ කාර්ය බලකාය වැනි හමුදා, බුද්ධි අංශවල අණ දෙන නිලධාරියාද වෙනවා.
මේ අතුරු තහනම් නියෝගය මගින් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය යටතේ පැවරී ඇති රාජකාරි ඉටු කිරීමට බධා පමුණුවනවා. එය අප ගැඹුරින් තේරුම් ගත යුතුයි.
මෙම වාරණ නියෝගයේ කිසිම නෛතික පදනමක් දක්වා නොමැති අතර එබැවින් කිසිම නීතිමය පදනමකින් තොරව හුදෙක්ම නීති විරෝධී යැයි පෙනෙන එවැනි වාරණ නියෝගයන් පිළිගැනීමට පාර්ලිමේන්තවට හැකියාවක් නැත.
අවසාන වශයෙන් උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ විසින් ගොනු කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපය ද මූලික අදියරේ දී මෙම වාරණ නියෝගය ලබා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ නුදුරු අනාගතයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව දැන දැනත් අවශ්‍ය සියලු පක්ෂ නියෝජනයක් වත් ලබාදීම සිදුවුයේ නැත.
මා යලිත් සිහි කරන්නේ ඒ නිසාය. එවැනි තීන්දු පිළිනොගන්නා බවත් ඊට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා වශයෙන් ඔබතුමා මින් පෙර මේ ගරු සභාවේ හිටි කථානායකවරයෙක්වන අනුර බණ්ඩාරනායක මැතිතුමා දුන් තීන්දුවේ අවසානය මෙසේය.
මේ ගරු සභාවේ කතානායකවරයා වශයෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මේ ප්‍රකාශය සිදුකරනවා කියලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කළා. ඒ ආකාරයෙන් කටයුතු කිරීම සඳහා සභානායකතුමා ද ඊයේ දිනයේ සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය යටතේ අපට තිබෙන බලය ආරක්ෂා කරගැනීම සඳහා මුලු ආණ්ඩුවම, ඒ වගේම පාර්ලිමේන්තුවේ මුළු ආණ්ඩුවම හා විපක්ෂයම කටයුතු කළ යුතුයි.
පාර්ලිමේන්තුව ඛේදවචාකයකට පත් කර තාවකාලික සංතෘෂ්ඨියෙන් ගිනි දැල් අවුස්සන්නට බලාපොරොත්තුවන අය එහි ඉටු කරන බරපතල හා අනතුරුදායක ක්‍රියාවලිය මා ඔබට යළිත් සිහිපත් කරනවා. කථානායකතුමා ලෙස ඔබතුමා දුන්න තීන්දුව ප්‍රශ්නයට පමණක් නොව හාස්‍යයට ලක් කර තියනවා. ඔබතුමා පොලිස්පතිතුමා ව්‍යවස්ථාදායක සභාව වශයෙන් පොලිස්පතිවරයා ගැන දුන්න තීන්දුව හාස්‍යයට ලක් කරලා තියනවා. එම තීරණය පිළිබඳ ඔබතුමා ජනාධිපතිවරයාට යවන ලිපිය හාස්‍යයට පත් කරලා තියනවා මේ අය. ඒ ගැන කණගාටුයි.
මැතිවරණ කොමිසමට අද දින පෙරවරුවේ 2024 මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රයක් නිකුත් කර තියනවා. අප පොලිස්පති සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 11 දක්වා වැඩ අත්හිටුවා ඇති නියෝගය බල රහිත කළ යුතු යැයි ගරු කථානායකතුමා හා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මෙම කරුණ සිහිපත් කරමින් ගරු කථානායකතුමාට මේ පිළිබඳව හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස යළිත් දන්වා සිටිනවා.







