ලලිත් චාමින්ද –
අප ජීවත් වීමට නොහැකි තරමට බදු බරක් සහිත ජාතියක් වී ඇත. මේ බදු බර දරාගත නොහැකි වෘත්තිකයෝ රට හැර යති. සාමාන්‍ය මිනිස්සු ජීවත්වීමත් අභියෝගයක් කරගෙන නොමැරී මැරෙති. ඒ සියල්ල සිදුවන්නේ රටේ ප්‍රභූ දේශපාලනයේ වරප්‍රසාද සහිත අරක්කු කොම්පැණි කාරයින් සහ උන්ගේ අල්ලේ නැටවෙන දූෂිත සුරාබදු බලධාරීන් විසින් රජයට ලැබිය යුතු බිලියන ගණනක සුරාබදු පොලු තබා ඇති පරිසරයකය.
ඔබ විශ්වාස කළ යුතුව ඇත. රටේ හිඟ සහ ප්‍රමාද සුරාබදු මුදලින් අරක්කු සමාගම් තබා ඇති පොල්ල රුපියල් කෝටි 726 ඉක්මවා ඇත. ඉන් කෝටි 715ක පොලු තබා ඇත්තේ මත් පැන් සමාගම් 13කි. මෙම එක් මත්පැන් නිෂ්පාදන ආයතනයක් 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුල කෝටි 321ක පොල්ලක් තබා ඇත. මේ කාලකනින් පොලු කාරයින් අතර ජාතිය බේරා ගැනීමට පොහොට්ටුව සමග එක්ව තවමත් සටන් කරන ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ඉන්නේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ දයාබර සුරතලෙක් වූ අර්ජුන ඇලෝසියස් ද ඉන්නේය.
මේ වනවිට මේ වර්ෂයේ මුල් මාස තුනට නව සුරා බදු බලපත්‍ර 32ක් දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ආකාරය පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී හෙළ්වී ඇත.
අප ආර්ථික වෙනසක් සහිත සුවපත් රටක් හදන්නට යන්නේ මුන් එක්කය.
හිඟ සුරාබදු ආදායම හා එයට අදාල ප්‍රමාද ගාස්තු අයකර නොගැනිම පිළිබද ක්‍රම හා විධි කාරක සභාවේ දි ද දැඩි කථාබහක් ඇතිවිය. මෙසේ හිග සුරාබදු ආදායම් හා එයට අදාල ප්‍රමාද ගාස්තු නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු බලපත්‍රය අත්හිටුවන ලෙස ක්‍රම හා විධි කාරක සභාව මගින් සුරාබදු නිලධාරින්ට නියෝග කරණු ලැබිය.
එහෙත් සුරාබදු නිලධාරිහු එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවිමට මැලිකමක් දක්වති. සුරාබදු නිලධාරින් සඳහන් කරණ ආකාරයට මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කළහොත් එම ආයතන වැසි යාහැකි බවය. එමෙන්ම දැනට එම සමාගම් විසින් ගෙවනු ලබන සුරාබදු ආදායම පවා එකතුකර ගැනිමට නොහැකි වනු ඇති බව සුරාබදු නිලධාරිහු පවසති.
රජයට ලැබිය යුතු ආදායමක් එකතුකරදිම සුරාබදු දේපාර්තමේන්තුවේ නිලධාරින්ගේ වගකිමකි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ස්කාගාර 23 අතුරින් සුරාබදු ආදායම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය සපයනු ලබන්නේ ස්කාගාර දෙකකි. එම ස්කාගාර දෙක මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළදපොළ කොටසෙන් සියයට 73ක් දරනු ලබති. එම ස්කාගාර දෙක රජයට නියමිත අයුරින් බදු මුදල් ගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකි.
මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළදපොළ කොටසෙන් සියයට 27ක් ඉතිරි ස්කාගාර 21 මගින් සපයයි. රජයට බිලියන ගණන් පොලු තබා ඇත්තේ මේ ස්කාගාර අතුරින් කිහිපයකි. එම නිසා රජයට හිඟ සුරාබදු ආදායම අදායම් ගෙවිම හා එයට අදාල ප්‍රමාද ගාස්තු පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කිරිමෙන් රට තුළ මත්පැන් හිගයක් ඇති වන්නේ නැත.
සුරාබදු දෙපාර්තමේන්තුව මෙරට රාජ්‍ය ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. 2023 වර්ෂයේ සුරාබදු දේපාර්තමේන්තුව සඳහා මහා භාණ්ඩාගාරයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 217කි. එහෙත් සුරාබදු දේපාර්තමේන්තුව මගින් එකතුකොට ඇති ආදායම රුපියල් බිලියන171.2කි. 2024 වර්ෂයේ මහා භාණ්ඩාගාරය විසින් සුරාබදු දේපාර්තමේන්තුවට රුපියල් බිලියන 232ක ආදායම් ඉලක්කයක් ලබාදි ඇත.
විගණනයෙන් හෙළිවන කතාව
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනට හිඟ සුරාබදු ආදායම හා එයට අදාල හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හත්සිය විසිහයකෝටි ,පනස් දෙලක්ෂ, හැත්තෑ හතරදහස් දොළහක මුදලක් (7,265,274,012) මුදලක් අයවිමට ඇතත් සුරාබදු නිවේදනවල විධි විධාන ප්‍රකාරව එම මුදල අයකරගැනිමට කටයුතු කර නොතිබුණි.
මෙදිනට මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් අයවිය යුතු හිග සුරාබදු මුදල හා හිඟ ප්‍රමාද ගාස්තුව රුපියල් හත්සිය පහළොස්කෝටි, අනු එක් ලක්ෂ, හැත්තෑ අට දහස්, හත්සිය හැත්තෑ අටකි. (7,159,178,778) රා නිෂ්පාදන ආයතන 13කින් අයවිමට ඇති මුදල හැට දෙලක්ෂ, දහඅට දහස් නමසිය හතලිහකි (6,218,940) මත්පැන් ස්කාගාර තුනකින් තුන්කෝටි, දාහතර ලක්ෂ ,අසුතුන් දහස්, හයසිය දහයක මුදලක්(31,483,610) අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම සුරාබදු හා මත්පැන් නිෂ්පාදන ආයතන 04කින් හිග බදු වශයෙන් රුපියල් හයකෝටි අසුතුන් ලක්ෂ, අනු දෙදහස් හයසිය අසු හතරක මුදලක් (68,392,684) අයවීමට තිබුණි.
එක් සමාගමක බදු පොල්ල කෝටි 321 යි…
2019 වර්ෂයේ සිට එක් මත්පැන් නිෂ්පාදන ආයතනයකින් හිඟ සුරාබදු ආදායම සහ ඒ සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් තුන්සිය විසි එක් කෝටි, හතලිස් තුන් ලක්ෂ,අනුඑක්දහස්, නමසිය හතලිස් අටක මුදලක් (3,214,391,948) අයවීමට තිබු බවද උක්ත වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම දැනට වසර පහක පමණ කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අයවිය යුතු හිඟ සුරාබදු ආදායම සහ හිග ප්‍රමාද ගාස්තු මුදල වු රුපියල් දෙසිය පනස්තුන් කෝටි, හැත්තෑ ලක්ෂ, විසිතුන් දහස්, හත්සිය හතලිස් අටක මුදලක් (2,537,023,748) අයකර ගැනිමට කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
එමෙන්ම ඉකුත් වර්ෂයේ අවසාන දිනට මත්පැන් නිෂ්පාදන ආයතන 02කින් හා තවත් ආයතන 06කින් වර්තමාන සුරාබදු ආදායම නිසිලෙස නොගෙවිම හේතුවෙන් හිඟ සුරාබදු ආදායම හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් එකසිය හතලිස් කෝටි, හතලිස් අට ලක්ෂ ,විසි දහස් පන්සිය දෙකක මුදලක් (1,404,820,502 ) මුදලක් අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉන් ආයතන තුනකින් තවදුරටත් හෑත්තෑකෝටි, හත්ලක්ෂ, හය දහස්, අටසිය අනු අටක මුදලක් (700,706,898) හිඟ ආදායම වශයෙන් අයවීමට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ජොනීලා, ඇලෝසියස්ලා කෝටි ගණන් බදු පොලු තිබ්බ හැටි!
2023 වර්ෂයේ හා ඉකුත් වර්ෂ හතරක හිඟ ආදායම් වාර්තා සමග සැසඳීමේ දි අයවිය යුතු මුළු සුරාබදු ආදායම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. සුරාබදු දේපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවට ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන්ව ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ක්‍රම හා විධි කාරක සභාවේ දෙවැනි වාර්තාවට අනුව සුරාබදු දේපාර්තමේන්තුව විසින් අයකළ යුතු මුළු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.9කි. ඉන් රුපියල් බිලියන 1.4ක් 2023 වසරට අදාල වන බව මෙම වාර්තාවේ සඳහන් වේ. මෙම වාර්තාවේ සදහන් වන ආකාරයට ඩබ්ලිව් .එම්.මෙන්ඩිස් සහ සමාගම අවුරුදු පහක් දක්වා වු කාලය තුළ ( අවුරුදු 01 සිට 05 දක්වා) ගෙවිය යුතු හිග සුරාබදු මුදල අසුනම කෝටි, පනස් ලක්ෂ, තිස්පන් දහස් දෙසිය හැත්තෑ නවයකි. (895,035,279) සිනර්ජි ඩිස්ටිලරිස් මත්පැන් සමාගම විසින් මෙම කාලය තුළ පැහැර හැර ඇති බදු මුදල රුපියල් හත්කෝටි, තිස්හය ලක්ෂ, අනුහය දහස් ,හයසියපනහකි (73,696,651).
රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගම පැහැර හැර ඇති බදු මුදල පන්කෝටි, විසිහත් ලක්ෂ, පනස් දෙදහස් පන්සිය හැත්තෑ හයකි (52,752,576) හිඟුරාන ඩිස්ටිලරිස් සමාගම විසින් ගෙවිමට ඇති හිඟ සුරාබදු මුදල දොළොස්කෝටි, හාරලක්ෂ, හයදහස් එකසිය පනස් දෙකකි. (120,406,152). රෝයල් සිලොන් ඩිස්ටිලරිස් සමාගම පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් තුන්කෝටි, අසුලක්ෂ, හැටහත් දහස් අටසිය තිස්පහකි (38,067,835)
වයඹ ස්ප්‍රිතු ආයතනය විසින් දැනට වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් විසි හත් කෝටි, හතලිස් තුන් ලක්ෂ, දහතුන් දහස් අසුදෙකකි (274,313,082). වයඹ ස්ප්‍රිතු ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බවට සුරාබදු දේපාර්තමේන්තුව විසින් ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දි තිබුණි.
වයඹ ස්කාගාරය විසින් වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස් හතර කෝටි, හතලිස් ලක්ෂ, පනස් පන්දහස්, එකසිය දාසයකි(544,055,116). හිඟ බදු නොගෙවිම මත මෙකි මත්පැන් සමාගමේ බලපත්‍රය අත්හිටුවිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගත් තිරණයට එරෙහිව මෙම සමාගම විසින් අභියාචනාගාරයේ නඩුවක් ගොනුකොට ඇත.
ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් අවුරුදු 15කට වඩා වැඩි කාලයක සිට රුපියල් එකසිය දොළොස්කෝටි, පනස් දෙලක්ෂ, හැත්තැ හත්දහසක හිඟ බදු මුදලක් (1,125,277,000) ගෙවා නැත. සුරාබදු දේපාර්තමේන්තුව විසින් ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබද තොරතුරු සොයාගත නොහැකි බවට ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දි තිබුණි. එමෙන්ම මෙම වාර්තාවේ සඳහන් ආකාරයට වයඹ ස්ප්‍රිතු ආයතනයේ සහ ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු හිඟ බදුගෙවිමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි ඇත.
මැකලම් බෘෘවරි ආයතනය විසින් වසර 15ක වඩා වැඩි කාලයක සිට ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස් නව කෝටි, තිස්තුන් ලක්ෂ, හැත්තෑ අට දහස්, පන්සිය හතලිස් හයකි (593,378,546). මැකලම් බෘෘවරිස් නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර එම සමාගම විසින් හිඟ බදු ප්‍රමාණයට සමාන මුදලක් බැංකුවේ තැන්පත්කොට ඇති බවද ක්‍රම හා විධි කාරක සභා වාර්තාවේ සඳහන් වේ.
ආදායම් පරිපාලන පද්ධතියට වෙන දේ
සුරාබදු දෙපාර්තමෙන්තුවේ යෝජිත ආදායම් පරිපාලන පද්ධතිය ක්‍රියාවට නැන්වීම සිදුවන්නේ ඉඹි ගමනේය. කාර්යක්ෂම ආදායම් පරිපාලනය, සේවාදායකයන් සඳහා ඉහළ පෙලේ සේවාවක් ලබාදිම, රාජ්‍ය ආයතන හා දත්ත හුවමාරුව විධිමත් කිරිම සහ මානව සම්පත් කළමණාකරණය සඳහා විධිමත් සැපයුම් දාමයක් ක්‍රියාත්මක කිරීම ආදි අරමුණු ඉටුකරගැනිම සඳහා ආදායම් පරිපාලන ක්‍රියාවට නැංවිමේ කටයුතු ආරම්භ කරණු ලැබිය. ඒ 2020 වර්ෂයේ දිය .
මෙම පද්ධතියේ මෘදුකාංග සංවර්ධනය සදහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන සලසා තිබුණි. එහෙත් මේ සඳහා 2022 වර්ෂයේ දි කිසිදු වියදමක් දරා නොතිබුණි. ඉකුත් වර්ෂයේ දි වෙන්කරනු ලැබු මුදලින් මිලියන 06ක මුදලක් යොදවා ප්‍රාදේශිය කාර්යාලයක් ඉදිකොට තිබුණි. ඒ අනුව සුරාබදු දෙපාර්තමෙන්තුවට අදාල බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය, නිෂ්පාදනාගාර අධික්ෂණය, බෙදාහැරිම, හා සැපයුම්දාම නියාමනය, අපරාධ දත්ත හා නීති කළමණාකරණය, සුරා බදු හා බදු පරිපාලනය ආදි වැදගත් ක්ෂේත්‍ර සඳහා යෝජිත පරිගණක දත්ත පද්ධතියක අවශ්‍යතාවය ප්‍රමාද වෙමින් පැවතුණි.
ඩිජිටල් සලකුණ වංචා කළ හැටි
සුරාබදු නිවේදනය අනුව පාරිභෝගිකයා වෙත ළඟාවීමට පෙර සැම මත්පැන් බෝතලයකම හෝ කෑන් එකක් මතම අනුමත ඩිජිටල් සලකුණ මුද්‍රණය වි තිබිය යුතුය .එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සලකුණු කළමණාකරණ පද්ධතිය පරික්ෂාකිරිමේ දි ඩිජිටල් සලකුණ මුද්‍රණයවීම යන විධානය අඛණ්ඩව ක්‍රියාත්ම වී නොතිබුණි.
විගණන වාර්තාවට අනුව ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය කරණු ලබන ප්‍රධාන සමාගමක 2023 වර්ෂයේ ජනවාරි 12 සිට 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 19 දක්වා කාලය තුළ අවස්ථා 54කදි මුද්‍රණ යන්ත්‍රය අක්‍රියව පැවතුණි.
එමෙන්ම සැර මත්පැන් නිපදවන ප්‍රධාන සමාගමක 2022 ජනවාරි මස 13 දින සිට 2022 දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ මුද්‍රණ යන්ත්‍රය අක්‍රියව පැවතුණි. මෙම කාලය තුළ මිලිලිටර් 180 මත්පැන් බෝතල් 3,601,735 ක් සහ 2023 වර්ෂයේ ජනවාරි මස සිට පෙබරවාරි මස 14 වැනිදින කාලය තුළ මිලිලිටර් 180 මත්පැන් බෝතල් 66,335ක් ඩිජිටල් සලකුණු මුද්‍රණය නොවිම වාර්තා වි තිබුණි. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී හෙළි වූයේ ඩිජිටල් ස්ටිකර් මුද්‍රණය නොවූ මත්පැන් බෝතල් සියල්ලම පාහේ හමුවෙමින් ඇත්තේ ඇලොසියස් හිමිකාරිත්වය සහිත මෙන්ඩිස් සමාගමෙන් බවය.
මෙම වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු මස 31 දින කාලය තුළ දි නව සුරාබදු බලපත්‍ර 32ක් ලබා දි තිබුණි. මෙම නව සුරාබදු බලපත්‍ර ලබාදිමෙ ක්‍රම වේදය පිළිබද ක්‍රම හා විධි කාරක සභාවේ දි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර විසින් සුරාබදු නිලධාරින්ගෙන් ප්‍රශ්න කරණු ලැබිය.
දේශපාලන හිතවතුන්ට හා ඇතැම් දේශපාලනඥයින්ට ද අලුතින් සුරාබදු බලපත්‍ර ලබාදි ඇති බවද පැවසේ