දිනසේන රතුගමගේ –
අද අළුයම ඉන්දීය ආක්‍රමණික ධීවර කොල්ලකරුවන් වැලැක්වීම සඳහා යාපනය කන්කනස්තුර මුහුදු තීරයේ මෙහෙයුමක නිරත වී සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සෙබලෙක් ඉන්දීය ධීවරයින් විසින් අනතුරට ලක් කිරීම නිසා මිය ගොස් ඇතැයි නාවික හමුදාව නිවේදනය කරයි.
මෙම මරණය සිද්ධ වන්නේ අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ දී සිදුකළ මෙහෙයුමක් අතර දී ය.
ආක්‍රමණික ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ මෙම විශේෂ මෙහෙයුමේ දී ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීම සඳහා මෙහෙයුමට යෙදවූ නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සෙබලා ඉන්දීය ධීවරයින් විසින් මෙසේ මරණීය අනතුරට පත් කර ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම 40 හැවිරිදි නාවික සෙබලා, යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. ඉන්දීය කලහකාරී ධීවරයින් විසින් සිදුකළ අනතුරින් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැළකිය යුතු හානියක් සිදු වී ඇතැයි නාවික හමුදාව කියයි.
නාවික හමුදාව සිද්ධිය වාර්තා කරන්නේ මෙසේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම මෙහෙයුම අතරතුර නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරී ලෙස (Aggressive Manoeuvres) ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව ඉතාමත් අසීරු සහ අවදානම් තත්වයන්ට මුහුණ දෙමින් නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, අද දින අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එලෙස අද දින (2024 ජුනි 25) අළුයම් කාලයේ සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ මෙම විශේෂ මෙහෙයුමේදී, ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයෙකු, ඉන්දීය ධීවර යාත්‍රාව අනතුරුදායක හා කලහකාරි ලෙස හැසිරවීම හේතුවෙන් (Aggressive Manoeuvres) සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා, යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. එහිදී, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැළකිය යුතු හානියක් සිදුවිය.
මෙරට මුහුදු සීමාව තුලට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා, මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් වලට එරෙහිව අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා, ඉන්දීය ධීවරයින් විසින් ඔවුන්ගේ ධීවර යාත්‍රා නාවික හමුදා යාත්‍රාවන්ට හා නාවික හමුදා පුද්ගලයන් හට අනතුරු සිදුවන අයුරින් අනතුරුදායක හා කලහකාරී ලෙස හසුරවනු ලබන අතර, එවැනි කලහකාරී ප්‍රතිරෝධයන් හමුවේ, රාත්‍රී කාලයේ පවත්නා අඳුරු වතාවරණය හමුවේ වුවද ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම වෙනුවෙන්, ඉතා දුෂ්කර හා අවධානම් සහගත අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දෙමින් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා (10) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි අටක් (28) සහ ඉන්දීය ධීවරයින් දෙසිය දාහතර දෙනෙකු (214) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර, මෙවැනි මෙහෙයුම් නාවික හමුදාව විසින් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.







