එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පිල්ලෙයාන් ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.
නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද පිල්ලෙයාන් මෙහිදී පැවසීය.
ජනපතිට සහාය දෙන්නට එක්වන්නේ කුමක් නිසා දැයි පිල්ලෙයාන් පැහැදිලි කළේ මෙසේය.
අද දිනය ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට අද දිනය පත්වන බව නොඅනුමානයි.
මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැඟෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතිනවා. මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබාදිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසදුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබාදීම අපේ වගකීමයි.
ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් හමුවේ වුවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ද අපගේ ස්තූතිය එතුමාට පුදකරනවා.
රටේ ඉදිකිරීම් ක්ෂේත්රය, නිෂ්පාදන ක්ෂේත්රය, කෘෂිකාර්මික නවීකරණය, ධීවර ක්ෂේත්රය, කර්මාන්ත ක්ෂේත්රය, කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙන ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිවයුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට අප සහතික වෙනවා.
මේ අතර දෙමළ ප්රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ගේ නිවසේ පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය. එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම එස්. වියාලේන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.