බම්බලපිටිය පොලිස් වසමේ ගාලුපාර සහ ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල සතිඅන්තයේ, විශේෂයෙන්ම සෙනසුරාදා අලුයම කාලයේ යතුරුපැදි පදවන්නන් පිරිසක් අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදි ධාවනය කරන බවට ලැබුනු තොරතුරක් මත අද අලුයම බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් යොදාගෙන වැටලීමක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.
එම වැටලීමෙන් යතුරුපැදි 20 ක් යතුරුපැදිකරුවන් විසි දෙනෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අලුයම් කාලයේ තම යතුරුපැදි ඉතා අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් සහ ඇතැම් අවස්ථාවල පිටුපස රෝදය පමණක් භාවිත කරමින් ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් පාර යන ප්‍රදේශවල පදවා ඇති බව සඳහන් වන අතර එමගින් මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහන වලට, මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට සහ ඒ අවට නිවාස වල වෙසෙන පුද්ගලයන්ට බාධා සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් ඇතැම් යතුරුපැදි වල වෙනස්කම් සිදුකර ඇති බව ත් මෝටර් රථ වාහන පනත යටතේ එය වරදක් බවත් ඒ අනුව එම වෙනස් කිරීම් සිදුකර ඇත්තේ මෝටර් රථ කොමසාරිස්වරයාගේ අවසරය මත ද යන්න පිළිබඳව පරීක්ෂා කර එසේ නොවුනහොත් ඔවුන්ට නඩු පැවරීම් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එම නඩු පැවරීමක දී වරද තහවුරු වුවහොත් රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් අවසාන වශයෙන් වාහනය රාජ සන්තක කිරීමේ හැකියාව, වරදකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව සහ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ හැකියාව අධිකරණයේ අභිමතය පරිදි තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
වෙනත් ප්‍රදේශවල සිට කණ්ඩායමක් ලෙස පැමිණ විනෝදය සඳහා යතුරුපැදි ධාවනය කරන බව ද අනාවරණය වී තිබෙන අතර පොදු මාර්ග පද්ධතියක මෙවැනි ආකාරයට වාහන ධාවනය නොකරන ලෙසත් එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහි ව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.