-
මන්ත්‍රීගේ කුපාඩි මැරකමට විරෝධය පා සුදුහුම්පොල ඝන අපද්‍රව්‍ය කළමනාකරන ඒකකයේ සේවකයින් අද පෙරවරුවේ කුණු එකතු කිරීමෙන් බැහැර වෙති!
සිය මෝටර් රථයෙන් පැමිණ කසල පිරවූ බෑගයක් මහ රෑ සුදුහුම්පොළ ප්‍රදේශයේ මහ මග දමා ගිය මහනුවර මහ නගර සභාවේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී ඉන්දික තෙන්නකෝන් නැමැති පුද්ගලයාගේ අවකල් ක්‍රියාවට එරෙහි වූ මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට ඔහු විසින් පහර දී තුවාල සිදුකර ඇතැයි ද එම වරදට මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා ඊයේ (01) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි ද මහනුවර පොලිසිය පවසයි.
මෙම සිද්ධිය පසුගිය 31 වැනිදා සිදුවී ඇති අතර හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් කම්කරු සේවකයා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔහුගේ කනට මැහුම් තුනක් දමා තිබේ.
මන්ත්‍රීවරයා 31 දා රාත්‍රියේ මෝටර් රථයෙන් පැමිණ කසළ පිරවූ බෑගයක් සුදුහුම්පොළ ප්‍රදේශයෙන් මාර්ගයට බැහැර කර ඇතැයි ද එය දුටු නගර සභාවේ කම්කරු සේවකයෙක් නිසි ලෙස වෙන් නොකළ කසල තැන තැන බැහැර නොකරන ලෙස දන්වා එය රැගෙය යන ලෙස දැනුම් දෙමින් කසල බෑගය මෝටර් රථය තුළට දමා ඇතැය ද වාර්තා වේ.
අනතුරුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් දිසානයක මහතාට සිද්ධිය දැනුම් දීම පිණිස මෝටර් රථයේ අංක තහඩුවේ ඡායාරූපයක් ජංගම දුරකතනයෙන් ලබා ගැනීමට කම්කරු සේවකයා කටයුතු කර ඇත.
ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස තමන් ට පහර දුන්නේ යැයි මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන ශිවකුමාර් ශිවනාදන් පොලිසියට පැමිණිලි කර තිබේ. තුවාල ලද කම්කරු සේවකයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
මෙම පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදු හුම්පොළ උප කාලර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) පෙරවරුවේ පැයක පමණ කාලයක් කසළ එකතු කිරීමෙන් බැහැර වී සිටියහ.
මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.







