දිනසේන රතුගමගේ –
යාපනයේ මුරුසවිල් ප්රදේශයේදී ඊයේ ( 23 ) ඉන්ධන බව්සරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් රුපියල් ලක්ෂ විසි තුනක ඉන්ධන මහපාරේ ගලාගෙන ගොස් තිබේ.
මෙම අනතුරෙන් පසුව වාහන දෙකම ප්රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල වූ දුම්රිය මාර්ගය මතට පෙරළී ගොස් තිබේ.
ඉන්ධන බව්සරය පෙරළීමත් සමගම එහි තිබූ ඩීසල් පාර පුරා ගලාගෙන යාමට පටන් ගත් අතර ඒවා එකතු කිරීමට මුරුසවිල් ප්රදේශය අවට පිරිස් උත්සහ කළ නමුත් පොලීසිය ඔවුන්ව ආරක්ෂක හේතුන්න් මත ඉවත් කොට තිබේ.
ඉන්ධන බව්සරය ගිනි ගැනීම වැළැක්වීම පිණිස ද මුරුසවිල් පොලීසියේ පොලිස් නිලධාරීන් විශේෂ ආරක්ෂාවක් යටතේ ක්රියා කොට තිබේ.
දුම්රිය මාර්ගය මතට පෙරළී ගොස් තිබූ ටිපර් රථය හා ඉන්ධන බව්සරය පොලීසිය විසින් බැකෝ යන්ත්ර හා දොඹරකර භාවිත කරමින් ඉවත් කොට මාර්ගය හා දුම්රිය මාර්ගයට සිදුව තිබූ අවහිරතාවය පැය කීපයකින් ඉවත් කොට තිබේ.
මුරුසවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







