මනම්පිටිය නිමල් ජයරත්න –
රුපියල් ලක්ෂ පහළොවක් වටිනා කීරි සම්බා ලොරියක් සොරාගෙන ගොස් එම වී තොගය විකුණා ලබාගත් රුපියල් ලක්ෂයක් නවයක මුදල සහ සඟවා තිබූ වී උර 11 ක් ඊයේ (23) වෙනිදා අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පසුගිය 21 වෙනිදා අරලගංවිල මැදගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිකන්ද පොලිසියේ උඩුමහලට රැගෙන යමින් සිටියදී එක් අයෙක් බිමට පැන්න බවත් ඉන් සිදුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කිවේය.
සැකකරුවන් දෙදෙනා අරලගංවිල මැදගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හා 56 වයසේ පසුවන දෙදෙනෙකි. උඩුමහලින් බිමට පැන තුවාල වූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී පැවසීය.
අරලගංවිල උල්පත්වැව ව්‍යාපාරිකයෙකුට අයත් මෙම කිරි සම්බා තොගය රියදුරෙකු විසින් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වී මෝලකට පසුගිය විසි වෙනිදා විකිණීම සඳහා රැගෙන ගිය විට එදින වීමෝලයේ පැවැති තදබදය නිසා එම ස්ථානයේ විලොරි නවතා හිමිකරු දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් පසු රියැදුරු නිවසට ගොස් තිබිණි.
පසුදා රියැදුරු එම ස්ථානයට යන විට වී ලොරිය නොතිබූ අතර අරලගංවිල උල්පත්වැව පදිංචි වී ලොරියේ හිමිකරු විසින් වැලිකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව 21 වෙනිදා අරලගංවිල 4 කනුව ප්‍රදේශයේදී එම වී ලොරිය දමාගොස් තිබියදි වැලිකන්ද පොලිසිය විසින් සොයාගන්නා ලදී.
ඒ අනුව තවදුරටත් ආරක්ෂිත කැමරා උපයෝගී කරගත් වැලිකන්ද පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් වී මිටි 138 ක් වෙනත් ලොරියක දමා පොළොන්නරුවේ වී මෝලකට විකුණා ඇති අතර ඉතිරි වී උර සැකකරුවන්ගේ ආහාර සඳහා නිවසක සඟවාගෙන තිබූ බවට හෙළිදරව් වී ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, පොලිස් අධිකාරි ප්‍රගති ලක්මින අබේසිංහගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත වීරසිංහ, 2952 බුද්ධික, 23789 අත්තනායක, 39210 වීරසිංහ,51096 රත්නායක, යන පොලිස් සැරයන්වරුන් ඇතුළු සිවිල් ආරක්ෂක භට 23546 දිල්හාර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.