ලලිත් චාමින්ද –
වැලිගම ප්‍රදේශයේ දී වැලිගම පොලිස් වෙඩි පහරින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයා පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහය ඊයේ (31) රාත්‍රි ඔහුගේ ඥාතින්ට භාරදිමට කටයුතු කර ඇත.
ඔහුගේ පෙනහැල්ලේ වෙඩි උණ්ඩ දෙකක් තිබු බවත් එම වෙඩි උණ්ඩ දෙක වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (31) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරනු ලැබීය.
පොලිස් සැරයන්වරයාගේ පෙනහැල්ලට වෙඩිවැදි රුධිරය වහනය විමෙන් මරණය වී ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වු බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
පොලිස් සැරයන්වරයාට වෙඩිවැදී ඇත්තේ කුමන වර්ගයේ ගිනි අවියකින්ද යන්න පිළිබද රසපරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසු අනාවරණය කරගතහැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙඩිවැදිමෙන් මියගොස් ඇත්තෙ උපුල් චමින්ද කුමාර (46) නැමති ගලේවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් සැරයන්වරයා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ සිටි දක්ෂතම නිලධාරියෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුරගේ අධීක්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි විශාඛා පෙරේරා විසින් සිදුකරනු ලැබිය.







