සුජිත් හේවාජුලිගේ –
රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක් (38757) මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
ලබාගත් ණයවල පොලිය ගෙවීම සඳහා රජයට ලබන වසරේදී රුපියල් කෝටි දෙලක්ෂ හැටපන්දහස් එක සීයක් වැය කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.
පොලී ගෙවීමට රජයට 2022 වසරේදී වැය කිරීමට සිදුවූයේ රුපියල් කෝටි එක් ලක්ෂ පනස් හයදහස් පන්සීයක මුදලක් පමණක් බව පැවසූ වසන්ත අතුකෝරළ මේ වර්ෂයේදී ණය පොලිය ගෙවීමට රුපියල් කෝටි දෙලක්ෂ දහනව දහස් තුන්සීයක් වැය කිරීමට සිදුවූ බවද ප්‍රකාශ කළේය.
එය පෙර වසරට සාපේක්ෂව සියයට හතළිහක වර්ධනයක් බවත් රජයේ ණය පොලිය ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට මේ වර්ෂයේදී වැයවූයේ තිස් දෙදහස් හැට එකක් බවත් මහාචාර්යවරයා කීවේය.
ලබන වර්ෂයේදී රජයේ මුළු අපේක්ෂිත ආදායමෙන් සියයට 65ක් ණය පොලී ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන අතර එය රජයේ මුළු අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් බව පැවසු මහාචාර්යවරයා රජයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය මත අධික ණය ගැනීම හේතුවෙන් විශාල පොලී පිරිවැයක් මෙලෙස දැරීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නේය. – ලංකාදීප







