නවසීලන්තයට එරෙහිව 2023 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තා 03ක් බිඳ දැමීමට විරාට් කෝලි සමත් වූයේය. පළමුව ඔහු සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඒ තෙන්ඩුල්කාර් තැබූ ශතක 49 වාර්තාව බිඳ හෙළමිනි.
2003 ලෝක කුසලාන තරගාවලියේ දී තෙන්ඩුල්කාර අර්ධ ශතක 07ක් වාර්තා කළේය. එය ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් නොබිඳුන වාර්තාවකි. ඒ ඉනිම 11 දී ය. 2023 ලෝක කුසලාන තරගාවලියේ දී කෝලි ඉනිම 10 කින් 08කදීම ලකුණු 50 වැඩි ඉනිම 08ක් ක්‍රීඩා කළේය. සචින්ගේ එම වාර්තාවත් ඔහු බිඳහෙළුවේය.
එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක දි වැඩිම ඒක පුද්ගල ලකුණ සංඛ්‍යාව වර්ෂ 2003 දී සචින් තෙන්ඩුල්කාර් විසින් වාර්තා කර තිබිණි. ඒ ලකුණු 673කි. කෝලි වසර විස්සකට පසු අද ඒ වාර්තාවත් බිඳ හෙළුවේය. ඒ තරගාවලියේ දි ලකුණු 674ට වැඩි ගණනක් ලබා ගිනිමිනි.

අද ක්‍රියාත්මක වන්නේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයයි. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.
රෝහිත් ෂර්මා ලකුණු 47කි. ශුබ්මන්ගිල් නොදැවී 80කි. විරාට් කෝලි ලකුණු 117කි. ශ්‍රෙයාස් ලියර් ලකුණු 105කි. කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 39කි. සූර්යකුමාර් යාදේව් ලකුණු 01කි.
කඩුළු 04ක් පමණක් දැවී හඹා යා නොහැකි සේ සැලකෙන ඉලක්කයක් වූ ලකුණු 398ක ජයග්‍රාහී ලකුණක් ඉන්දියාව විසින් නවසීලන්තයට ලබා දී තිබේ. මේ ජයග්‍රහණය කළහොත් එය වැඩිම ලකුණු හඹා යෑම ලෙස වාර්තාගත වනු ඇත. එවිට ඒ අවමානිත ලෝක වාර්තාව අපෙන් ඉන්දියාවට යනු ඇත. ඒ වාර්තාව අපේය.
කෝලි තැබුවේ වාර්තා තුනක් පමණි. මුලින්ම තරගාවලියෙන් ඉවත් වී ගම් රට බලා පැමිණි අප මේ ලෝක කුසලාන තරගාවලියෙන් පැමිණියේ වාර්තා 14ක් තබාය. අප හොඳටම කළ ආකාරය ගැන කවුරුත් කරන්නේ නැත.
අපේ වාර්තා 14

- තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
- තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත
- වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය ලකුණු 14කි.
- ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
- ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
- තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
- තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
- මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
- තරාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.
- තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
- තරගාවලිය පුරා වැඩිම නෝ බෝල් ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නෝ බෝල් 33කි.
- වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
- ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
- වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.
ක්‍රිකට්වලට කෙළ වී ඇති ආකාරය මේ වාර්තා 14 තුළ සංක්ෂිප්ත වී ඇති බව ලියා තබමු.







