ලලිත් චාමින්ද –
රුපියල් මිලියන 4000 කට ( කොටි 400ක් නැතහොත් බිලියන 4ක්) අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් මෙම මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව අත් අඩංගුවට ගෙන තිබිණි.
අත් අඩංගුවට ගත් ධීවර යාත්‍රාව අද ( 22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල සූක්ෂම පරීක්ෂාවේදී , එම බහුදින ධීවර යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ මෙම බිලියන 04ක විදී වටිනාකමින් යුතු හෙරොයින් අයිස් (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 212කට වැඩි ඇසුරුම් බර සහිත තොගය සොයා ගෙන තිබිණි.
උර දොළහක් (12) තුළ පාර්සල් එකසීය හැටක (160) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) හමු විය. අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් බර සහිතව බර කිලෝ 31 ග්‍රෑම් 550 කි. එම අයිස් තොගය පාර්සල් විසි අටක (28) ඇසුරුම් කර තිබිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 26 ත් 53 අතර වන දෙවුන්දර සහ කෝට්ටේගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. එම සැකකරුවන් සමග මෙම බිලියන 04ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව පවසන්නේ මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 15,160 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවය.
අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය අද දින (22) දෙවුන්දර ධීවර වරායේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නිරීක්ෂණය කිරීම සිදුකෙරිණි.