මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින Isolez Bio Tech Pharma සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ඇමතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු පරීක්ෂණ නිමා වන තෙක් මෙම සමාගම වෙත ගෙවීමට ඇති සියළු ගෙවීම් වහා ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස ද අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
අදාළ සමාගම වෙත ලබා දී ඇති ඇණවුම් මෙන්ම ලැබීමට නියමිත සැපයුම්ද මේ අනුව අත්හිටුවීමට හා අවලංගු කිරීමට ක්‍රියා කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
මෙම ඖෂධ සමාගම සම්බන්ධයෙන් මෑතකාලීනව ඇතිවූ ගැටළුකාරී තත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි යොමුකර මේ වනවිට පරීක්ෂණයක් ඉල්ලා ඇති අතර එම සමාගම විසින් ප්රශ්නකාරී ලෙස සැපයුම් ලබාදී ඇති බවත් එවැනි සැපයුම් තවදුරටත් ලැබීමට ඇති බවටත් තොරතුරු වාර්තා වෙමින් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් (ඖෂධ නිෂ්පාදන,සැපයීම් හා නියාමන) , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්), සභාපති – රාජ්‍ය ඖෂධ සංස්ථාව, සභාපති – ජාතිත ඖෂධ නියාමන අධිකාරිය, ප්‍රධාන විධායක නිලධාරී- ජාතිත ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ප්‍රධානීන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීමේ ලිපි යොමු කර ඇත.
එමෙන්ම මෙම ගැටලුකාරී ඖෂධ සමාගම හා එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් හා ඒ සම්බන්ධව නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නීතිපතිවරයාට ද ලිපියක් යොමු කර ඇත.







