ශ්‍රියානි විජේසිංහ –
බස්ගාස්තු සොයා ගැනීමට නොහැකිව මාතෘ හා ළමා සායනයන් වෙත නොයන කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරුන්ට බස් ගාස්තුවක් ලබා දීමට රතුකුරුස සංවිධනය ඉදිරිපත් වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කරයි.
දරුවන්ගේ බර කිරීම හා විවිධ ශරීරික දුර්වලතාවන් පවතින දරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සායනයන් වෙත යොමු වුවද රෝහලේ සායනය වෙත යොමු නොවන බව පසුගියදා පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී හෙළිවිය.
මෙසේ රෝහල් සායනයන් වෙත මව්වරුන් සහ දරුවන් යොමු නොවන්නේ බස්ගාස්තු සොයා ගැනීමට නොහැකි වීම නිසා යැයි එම මව්වරුන් සඳහන් කර ඇති බව කමිටු රැස්වීමේදී හෙළිවීමත් සමඟ එවැනි ආර්ථික අපහසුතාවන් පවතින මව්වරුන්ට සායනයනට සහභාගි වීමට අවශ්‍ය බස්ගාස්තුව ලබා දීමට රතුකුරුස සංවිධානය කැමැත්ත පළ කළ බව වෛද්‍ය ගජනායක පැවසුවේය.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මාතෘ හා ළමා සායනයන් 18 වෙත පැමිණෙන මව්වරුන්ට රෝහලේ සායනයනය වෙත යෑම සදහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දීමට රතුකුරුස සංවිධානය තීරණය කර ඇත.
මේ අනුව සායන 18 වෙත පැමිණෙන මව්වරුන්ට , රතුකුරුස සංවිධානයේ නියෝජිතයෙකු එම සායනයන් වෙතටම ගොස් අදාළ මූල්‍ය පරිත්‍යාගය මව්වරුන්ට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවද වෛද්‍ය ගජනායක පැවසුවේය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් නොව අනෙකුත් දිස්ත්රික්කයන්වලද මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණය නගා සිටුවීමට හැකි ආයතනයන් හෝ පුද්ගලයින් සිටින්නේ නම් ඉදිරිපත් විය හැකි බවත් එවැනි පුද්ගලයින්ට හෝ ආයතනයන්ට කොළඹ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික් කාර්යාලය හා සම්බන්ධ වීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් සඳහන් කරන වෛද්‍ය ගජනායක එවැනි පරිත්‍යාගයක් රටට අනාගත ආයෝජනයක්ද වන බව පවසා සිටියි.







