ලබා දුන් එන්නත විසවීම නිසා තමන්ගේ ඇස් දෙක ඉදිරියේ තමන්ගේ ලෙයින් උපන් දියණිය මිය ගිය අයුරු එම දියණිගේ අම්මා හැඬු කඳුලින් යුතුව හෙළි කළාය.
උදරාබාධයක් හේතුවෙන් ඊයේ (11) පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ පසු ලබා දුන් එන්නතකින් අනතුරුව මිය ගිය පොත්තපිටිය අලගල්ල ප්රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගොස් තිබුණේ ඇයගේ මව ගේ ඇස් ඉදිරිපිටය.

තරුණියගේ අම්මා මායා ඉන්ද්රානිය. තරුණිය ලඟ සිටියේ ඇයය. උදාබාධය හේතුවෙන් පසුගිය 10 වැනි දින කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමඟ පේරාදෙණිය රෝහලට මාරුකර එවා තිබිණි.
හදිසි ප්රතිකාර ඒකකට පෙරවරු 9.00 ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30 ට පමණ හතේ වාට්ටුවට යොමු කළ පසු සිදුවූ දේ ඒ අම්මා අපට කීවේ මෙසේය.
“වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30 ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්වම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම අම්මා මගේ ඇස් වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්කම ටොයිලට් එකට දිව්වා”.
“මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි.”
චමෝදිගේ තාත්තා වයි. ජී ජයරත්නය.
“දුව බඩ රිදෙනවා කිව්වා. බඩ එළිය සහ වමනය තමයි තිබුණේ. සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණ නිසා අඟහරුවාදා (11) එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරුකර එව්වා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00 ට විතර දුවව හදිසි ප්රතිකාර ඒකකට ඇතුළු කරලා ප්රතිකාර ලබා දුන්නා. සේලයින් එක්ක දීලා 12.00 ට විතර 07 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එක්ක දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. දුව මැරෙන හැටි එයාගේ අම්මා දැක්කා.” තාත්තා කීවේය.
දැන් සිද්ධිය ගැන විමර්ශනයක් කරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහල පවසන්නේය.
මේ රටට අපේ ජීවිත පොල්කුඩු ද?. අපට අප ගැන තිබෙන ප්රශ්නය එයය.







