අනුරාධපුර පර්සි කුරුනේරු –
රාජාංගනය යාය 18 ප්‍රදේශයේ යෝජිත කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික සමාගමක් මගින් ඊයේ (11) සිට ආරම්භ කළ සංගිත සැණකෙළිය අවසානයේ ප්‍රසංග වේදිකාවට නැග කෑකෝ ගසමින් ඝෝෂා කරමින් අශෝභන ලෙස හැසිරුණු බව කියන පුද්ගලයන් තිදෙනෙක් රාජාංගනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ප්‍රේක්ෂකයන් තුන් දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් අවුරා ලංකා සංගිත සැණකෙළිය නමින් සංවිධානය කොට තිබූ එම සැණකෙළියේ ප්‍රධාන අංගයක් වන පැවති දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් සංගිතය සපයා ඇති ප්‍රසංගය සදහා රාජාංගනය පොලීසිය විසින් ඊයේ (11) සිට සතියක කාලයක් දිනපතා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා ලබාදී තිබු අවසරය පරිදි සැණකෙළියේ සංවිධායකයින් විසින් ප්‍රසංගය ඊයේ රාත්‍රී 10.00 ට අවසන් කොට තිබේ.
සංගීත ප්‍රසංගය ආරම්භක අවස්ථාවේ සිට වේදිකාව ඉදිරියේ නටමින් සිටි බීමත් පනහකට ආසන්න පුද්ගලයන් පිරිසක් ප්‍රසංග වේදිකාවට නැග ප්‍රසංගය නැවත ආරම්භ කරන ලෙසට බල කරමින් කළහකාරී හා අශෝභන ලෙස හැසිරී ඇත.
එම අවස්ථාවේ එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ප්‍රසංග වේදිකාවට නැග සිටි පුද්ගලයන් වේදිකාවෙන් බිමට පළවා හැරීමට කටයුතු කර තිබිණි.
මේ අතර පොලිස් අණ නොතකා වේදිකාවට වී මයික්‍රපෝනයක් ගෙන ප්‍රසංගය සම්බන්ධයෙන් ශබ්ද විකාශන පද්ධතිය හරහා තම මතය ප්‍රකාශ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඇතුළු වේදිකාවේ අශෝභන ලෙස හැසුරුණු බව කියන පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් අනුරාධපුර උලුක්කුලම,ගිරිබාව වරාවැව සහ අනුරාධපුර විහාර පාලුගම යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
ඒ අතර යුද හමුදා සෙබළෙකුද වන බව පොලීසිය පවසයි.
සංගීත සැණකෙළිය සංවිධානය කළ බව කියන පුද්ගලයන් කිසිවෙකුත් අද (12) දවල් වනතුරුත් එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කොට නොතිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහ මහතාගේ උපදෙස් මත (12) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.