කිර්ති ප්‍රනාන්දු –
විදුලි සේවකයින් හෙට දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර, දහවල් 01ට කොළඹ විහාරමහා දේවී උද්‍යානයට පැමිණ විශේෂ සමුලුවක් පවත්වන බවත්, එහිදී යෝජිත විදුලිබල පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව යෝජනා මාලාවක් සම්මත කරගැනීමට සූදානම් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් ලංකාසරට පැවසීය.

මේ දියත්වන්නේ වැඩ වර්ජනයක් නොවන බව කී රන්ජන් ජයලාල් විදුලි සේවකියන් ලෙඩ නිවාඩු වාර්තා කර පැමිණෙන්නේ සියලු මෙහෙයුම් කටයුතු පවත්වා ගත හැකි ආකාරයට සැලසුම් සකස් කිරීමෙන් පසුව යැයි පැහැදිලි කළේය.
“නව විදුලි පනත පාර්ලිමේන්තුවට ගේන්න හදලා තියෙන්නේ. ඒත් තවමත් එ් පනතේ හැඩය නිශ්චිත අදහසක් නෑ.”
“වාර්තාවන පරිදි මූලික සැලසුම විදුලිබල මණඩලය කොටස් 15කට කඩා විදේශීය සමාගම් වෙත පැවරීම.
බලාගාර ටික කොම්පැනිවලට දීලා විදුලි ජනන සමාගම් 06ක් හදනවා. සම්ප්‍රේක්ෂණ සමාගම් 02කට දෙනවා. බෙදා හැරීම සමාගම් 05කට කඩන්න යනවා. මේ දෙන්න හදන සියලුම සමාගම් පුද්ගලික විදේශික සමාගම්.
හරියටම මේ කරන්න හදන්නේ ෂෙඩ් ටික දුන්නා වගේ වැඩක්.
අපි කියන්නේ මේක අනාගතයේ දී රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.
විදේශීය සමාගම්වලට දුන්නා කියලා විදුලි බල මණ්ඩලයේ තරගකාරිත්වයක් ඇති කරන්න බෑ. විදුලිබලය කියන්නේ ඒකාධිකාරියක් තියන එකක්.
මෙතන බරපතල ගැටලුව තියෙන්නේ විදුලිබල ප්‍රතිව්‍යුගත කිරීම පිළිබඳව මේ මූලික අදහස හැරුණුකොට තවම මේක සංකල්පීය පත්‍රිකාවක් හෝ ඇමති අතේවත් නෑ.
සේකයින් වෘත්තිය සමිති මේ ප්‍රතිව්‍යුහගතකිරීම ගැන දන්නේ නෑ. විනිවිද භාවයක් නෑ. ඒකට හේතුවක් තියනවා.
අපේ විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත හදන්නේ අපි නෙමෙයි. යූඑස්.ඒඩ්. ආයතනය. මණ්ඩලයේ සේවක කප්පාදුව ඇතුළු මූල්‍ය සමාලෝචනය කරන්නේ ලෝක බැංකු මූල්‍යාධාර සහිතව කටයුතු කරන්නේ විදේශීය සමාගමක්. අප ඉන්නේ ඉතාම බිහිසුණු තැනක කියලා මේ රට තේරුම් ගත යුතුයි.”
රන්ජන් ජයලාල් පැවසුවේය. හෙට සම්මත කරගන්නා විදුලි පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ගය සෑම අතින්ම සාර්ථකවනු ඇති බවත්, මණ්ඩලයේ පාලනාධිකාරියත් මේ විරෝධතාවයට සහයෝගය දක්වමින් එක්වී සිටින බවත් ඔහු පැවසුවේය.







