අන්තර්ජාතික කුරුළු උයනක් හන්තාන පාරිසරික කලාපයේ නිර්මාණය කරන්නට යන අවස්ථාවේ දී ඊට අවශ්‍ය රාජ්‍ය සහයෝගය ලබා දීමට රාජ්‍ය නිලධාරීන් කප්පම් ඉල්ලූ ආකාරය එම උද්‍යානයේ සහ පරිසර සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ අද (20) ජනාධිපතිවරයා ඉදිරිපිට දී හෙළිදරව් කළේය.
හන්තානේ තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති අක්කර 27 ක භූමි භාගයකින් යුත් මෙම ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය රුපියල් මිලියන 490ක වියදමින් ස්ථාපිත කිරීමේ දී පැමිණි රාජ්‍ය බාධකවල ස්වරූපය විස්තර කරමින් සභාපතිවරයා මෙසේ පැවසුවේය.
“විවිධ බාධාවන් මැද වුවත් මෙම වසරේ දී මේ උද්‍යානයේ පළමු අදියර නිමා කිරීමට හැකි වුණා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රාජ්‍ය නිලධාරීන් කොළඹ – නුවර ධාවනය කළ හැකි අධි සුඛෝපබෝගී බස් රථයක් අල්ලස් වශයෙන් ඉල්ලුවා. එය ලබාදීමට නොහැකි වූ නිසා වසර ගණනාවකට පෙර මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදු වුණා.”
“කෙසේ හෝ මේ වන විට අද පළමු අදියර විවෘත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”
ඔහු කීවේය. හන්තානේ තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති අක්කර 27 ක භූමි භාගයකින් යුත් මෙම ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය සංක්‍රමණික පක්ෂීන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවකට නිවහනකි.
මෙම කුරුලු උද්‍යානයේ විශාල කූඩුවල විදේශීය පක්ෂීන් ට ජීවත් වීමට ඉඩ සලස්වා ඇති අතර ඔවුන් රැක බලා ගැනීම සඳහා සියයකට ආසන්න සේවක පිරිසක් සිටිති.
වසර 40ක කාලයක් පුරා සිදු කළ “ශ්‍රී ලංකාවට ආවේණික නොවන පක්ෂීන් පිළිබඳ අධ්‍යයනයක්” පදනම් කරගෙන මෙම උද්‍යානය ස්ථාපිත කර ඇති අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරට අභිජනනය කළ හැකි වීමද විශේෂත්වයකි.
මෙහි පළමු අදියර යටතේ දෙස් විදෙස් සංචාරකයන්ට සංක්‍රමණික පක්ෂීන් නැරඹීමට පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, කුරුළු අනාථාගාරයක්, කුරුලු නිවහනක්. සහ නිරෝධායන ඒකකයක් ස්ථාපිත කර ඇත.
විදේශ රටවලට ආවේණික පක්ෂීන්, සංක්‍රමණික පක්ෂීන් ආදීන්ගෙන් සමන්විත මෙම වනෝද්‍යානයේ තුවාල වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර මුදා හැරීමේ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.







