පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජය දරන ව්‍යවස්ථා විරෝධී උත්සාහයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කර ඇත.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දන්වා ඇත්තේ නීතියට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වනදාට පෙර පැවැත්විය යුතු බවත්, ඊට පෙර නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කළ යුතු බවත්ය.
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවා ඇති අතර මැතිවරණය 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියමකොට තිබේ.
අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. හර්ෂණ රාජකරුණා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ තම ඡන්ද බලය භාවිතා කිරීමට උද්යෝගයක් පවතින බවය.
එම ලිපියෙන් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ ආණ්ඩුවේ මහජන අදහස් රජයට බෙහෙවින් අවාසිදායක බව වටහාගෙන මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා ඇතැම් චක්‍රලේඛ නිකුත් කර මාර්තු 09 දාට දින නියම කර ඇති මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මෙහෙයවා යම් යම් තීරණ ගෙන ඇති බවය .
ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූජනීය ප්‍රතිපාදන අමු අමුවේ උල්ලංඝණය කරමින් ජනතාවගේ ඡන්ද බලය අහිමි කිරීමට විධායකය ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කරන බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
“එබැවින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට මෙම ප්‍රශ්නයට මැදිහත් වන ලෙස අපි ඔබගේ ගෞරවණීය ආයතනයෙන් නිහතමානීව ඉල්ලා සිටිමු,” මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇත.







