දිනසේන රතුගමගේ
මාස 09 පමණ දරුවකුට යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේ මවක් ඉතා අමානුෂික අන්දමට පහර දෙන වීඩියෝවක් හා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට යොමු කොට ඇති පිරිසක් වහාම ඇයව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරණ මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමත් සමග මේ කාන්තාව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
එම මව විසින් දරුවාට කෝටුවකින් වැරෙන් පහර දෙන අතර එම පහරවල් ඉවසා ගැනීමට නොහැකිව දරුවා විලාප දෙමින් හඩන නමුත් මවගේ මව ලෙස විශ්වාස කළ හැකි අනෙක් කාන්තාවද ඒ දෙස නිහඩව බලා සිටින අන්දම ඡායාරූප වල දැක්වේ.
එම වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැර ඇති පිරිස් ඉල්ලා සිටින්නේ වහාම එම කාන්තාවත් පහර දෙන ස්ථානයේ සිට නිහඩව බලා සිටින කාන්තාවත් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසයි.
යාපනයේ ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් හා යාපනය පොලීසියේ නිලධාරීන් සිද්ධිය පිළිබදව විමර්ශනයක් කොට කාන්තාව ඇගේ කුළී නිවසේදී අත් අඩංගුවට ගෙන තිබේ. ඇය ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ මනියතෝට්ටම් ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන ජීවත් වූ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මෙම කාන්තාව කුවේට් රාජ්‍යයේ රැකිවා කර මීට මාස කීපයකට පෙර මෙම බිළිඳු දරුවාද රැගෙන ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.. ඇයව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය හා ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.