හොර පාරෙන් පැන්නූ සුඛෝපභෝගී ලෑන්ඩ් කෲෂර් රථයක් සමග මතුගම දී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත් අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත්‍රයා වන රසික විතාන තමන් එම රථය මිලදී ගත්තේ හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් බව පොලිසියට අනාවරණය කර තිබේ.
එම ප්‍රකාශයට අනුව රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බව පොලිසිය පවසයි.
අදාල අත් අඩංගුවට ගැනීම පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරනු ලබන්නේ මාස හතරක් පුරා සිදුකළ දීර්ඝ විමර්ශනයකට පසුය. වැඩබලන පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරක් ආරම්භ කර තිබූ විමර්ශන අතරතුර උක්ත ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජිප් රථය රථය මතුගම ප්‍රදේශයේ සැරිසරන බවට විශ්වාසකටයුතු ආරංචියක් ලැබී ඇත.
ඒ අනුව දියත් කළ විශේෂ මෙහෙයුමක දී ඊයේ (19) දිනයේ දී රථය අත් අඩංගුවට පත් වන්නේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයාවන රසික විතාන සමගය.
ජිප් රථය පිළිබඳ සිදුකරන විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ එම රථය නීති විරෝධී ලෙස මේ රටට ගෙනැවිත් ව්‍යාජ දත්ත ඇතුළත්කොට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද එකක් බවය. අනතුරුව ජගත් විතාන ට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට රථය ලියාපදිංචි කර ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
රසික විතානගෙන් සිදුකළ ප්‍රශ්නකිරිම්වලදී ඔහු පවසා තිබුණේ මෙම වාහනය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිලදී ගත් බවය.
අත්අඩංගුවට ගත් රසික විතාන අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.







