දිනසේන රතුගමගේ –
යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 19 දා යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
2025 පෙබරවාරී 15 වෙනිදා සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසු වී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර ඇයත් ඇයගේ ස්වාමියාත් රෝහලට හා පොලීසියට ලබා දුන් ප්‍රකාශ වල සදහන්ව තිබුණේ රාත්‍රියේදී මදුරු දඟරයක් දැල්වීමට යාමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.
මේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මව පියා ඇතුලු ඥාතීන් විසින් කෝපායී පොලීසියට කරණ ලද පැමිණිල්ලකින් පසුව පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබේ.
මෙතෙක් සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ ස්වාමියා විසින් ඇගේ සිරුරට ගිනි තබා ඇයව මරා දමා ඇති බවය.
ඇය මියයන විට මාස හයක ගැබිණියක්ව සිට ඇති අතර සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා වූ ග්‍රාම නිලධාරිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන ගොස් ඇත.







