මනම්පිටිය නිමල් ජයරත්න –
පුරාවිද්‍යා නිලධාරීන් බව අඟවමින් දිඹුලාගල වරාපිටිය ශ්‍රී ශෛලපබ්බතාරාම විහාරස්ථානයේ පුරාවස්තු කැනීම් කරමින් සිටි පස්දෙනෙකු අද (20) සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොබෙයිගනේ, වලපනේ, අඹගහපැලැස්ස, නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු හතළිස්පහත්, පනහත් අතර වයසේ පසුවන්නන් බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
ඔවුන් පැමිණ ඇති බවට කියන රථ වාහන කිහිපකින්, කීපදෙනෙකු පලා ගොස් ඇති බවද, ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 වෙනදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අරලගංවිල පොලිසිය අප කළ විමසීමකදී කීවේය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල ,ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් සිදු කරයි.







