පවතින ඩීසල් අර්බුදය හමුවේ හෙට ඇරඹෙන නව පාසල් වාරයේ දී සිසුන්ගේ ප්‍රවාහන කටයුතු නිසි ලෙස සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
සමස්ථ ලංකා පාසල් ප්‍රවාහන වෑන් රථ හිමියන්ගේ මල්සිරි ද සිල්වා පවසන්නේ දින ගණනක් පෝලිම්වල සිට ඩීසල් සපයා ගනු ලැබුවත් ක්‍රමවත් ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීම එන්න එන්නම ගැටලුවක් වී ඇති බවය. ඉන්ධන හිඟය මෙන්ම දෙමව්පියන්ගෙන් වාහන ගාස්තු අයකරගැනීම මේ දුෂ්කර සමයේ බරපතල ගැටලුවක් වී ඇති බවත් තත්ත්වය ඉදිරියේ දී සංකීර්ණ වනු ඇති බවත් ඔහු පැවසුවේය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ දිවයින පුරා 18,000 ක සමස්ථ පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් හෙට දිනයේත් ධාවනය කෙරෙන්නේ බස් රථ 6,000ක් පමණක් බවත් හැකි ආකාරයෙන් එම බස් රථ ප්‍රමාණය පාසල් සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තුවන බවත්ය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් ලබා දී තිබුණු නිවාඩුව අවසන් කර පාසල් වල පළමු වාරයේ 2 වන අදියර හෙට (06) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.
පසුගිය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ආරම්භ වූ නව පාසල් වාරයේ පළමු අදියර පසුගිය මස 19 වනදා අවසන් කෙරිනි.








