අදත් දළ ඇතුන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ අලි සම්පත ව්‍යසනයට ලක් වී ඇති ආකාරය රටටත් ජනතාවටත් පාලකයින්ටත් ඡායාරූප දත්ත සහිතව පෙන්වා දීමේ අභිලාෂයෙන් හුස්ම සංවිධානය විසින් පැවැත්වෙන ඡායාරූ ප්‍රදර්ශනයක් මේ වනවිට මහත් ජන සහභාගීත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මෙම ප්‍රදර්ශන ඊයේ (02) උදේ 9ට ආරම්භ වි තිබිණි.
සාහසික ලෙස ඝාතනය කළ අලි ඇතුන්ගේ මරණීය ව්‍යසනය මෙසේ එක් තැනකට රැගෙන ආවේ කෙනෙකුට ආනන්දයක් දෙන කලාත්මක ඡායාරූප එකතුවක් ලෙස නොව, මේ අපරාධයේ ස්වරූපය දැනෙන සුළු ලෙස සමාජගත කිරීමේ අරමුණින් බව මේ සම්බන්ධව ලංකාසර වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හුස්ම සංවිධානයේ සභාපති කැලුම් මහේෂ් පැවසීය.
“ලංකාවේ ඡායාරූප ප්‍රදර්ශනවල අලි ඇත්තු ජීවත් වෙලා ඉන්න කලාත්මක ඡායාරූප තමයි ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් අපි සංවිධානය කළ මේ ප්‍රදර්ශනයේ ඡායාරූපගත කරලා තියෙන්නේ සත්තුන්ගේ මරණ. මේක දැක්කම එන්නේ මහා කම්පනයක්. අපේ ම්ලේච්ඡ හැසිරීම් ගැන අප සම්බන්ධව එන කළකිරීමක්. “
“මේක බලන කෙනෙකුට මේ අලි විනාශ කර ආකාරය ගැන යළිත් කල්පනා කරන්න හිතෙනව. අපි මේ විනාශ කරලා දමන්නේ විරල ප්‍රයෝජන සහිත සම්පතක්. මේ සම්පත ගැන නිශ්ඡිත වටිනාකමක් අපට නෑ. එය නිසි ලෙස කළමනාකරණය වෙන්නේ නෑ, ඒ සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීම තමයි මේ ප්‍රදර්ශනයේ අරමුණ. “
“ අප විශ්වාස කරනවා මේ සංහාරය දිගටම වුනොත් තව අවුරුදු 10ක් යද්දි අලි ඇතුන් අපට නැත්තට නැති වේවි. අපේ තියන ආකල්ප වෙනස් කරලා මිනිස්සු පීඩාවට පත් නොවන ආකාරයට මේ සම්පත් කළමනාකරණය කළ යුතුයි කියන පණිවිඩය දෙන්න අප ලඟ තියෙන 3000කට අධික අලි ඝාතන ඡායාරූප ගොන්කින් 175ක් පමණ ප්‍රදර්ශනය කරනවා. “
“ අද සවස 3ට අලි සම්පත කළමනාකරණය කරන විදිහ සම්බන්ධව වැඩමුළුවක් සංවිධානය කරලා තියනවා.”
හුස්ම සංවිධාන සභාපති කැලුම් මහේෂ් කීවේය.