ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්රීඩක ශෙහාන් ජයසූරිය, ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ඔහු ඇමරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායමට කැඳවා ඇත. මීට වසර කිහිපයකට පෙර ශ්රී ලංකාවේ වෘත්තීය ක්රිකට් ක්රීඩාවෙන් සමුගෙන ඇමරිකාව බලා පිටත්ව ගිය ඔහු, මේ වන විට එරට පැවැත්වෙන Major League Cricket (MLC) සහ Minor League Cricket තරඟාවලි සඳහා ක්රියාකාරීව සම්බන්ධ වී සිටී.
දැනට 34 වැනි වියේ පසුවන ශෙහාන් ජයසූරිය යනු ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 12ක් ක්රීඩ කළ ක්රීඩකයෙකි. වමත් පිතිකරුවෙක් මෙන්ම දකුණත් ඕෆ් බ්රේක් පන්දු යවන්නෙක් වූ ඔහු තුන් ඉරියවු ක්රීඩකයෙක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. ඔහුගේ ක්රීඩා ඉතිහාසයේ එක් අර්ධ ශතකයක් වාර්තා වී තිබිණි. ලබා ගත් වැඩිම ලකුණු ගණන ලකුණු 96කි. තරග 12 තුළ පන්දු යැවීමෙන් ඔහු කඩුළු 03ක් ද දවා ගත්තේය.
ශෙහාන් ජයසූරිය විස්සයි 20 තරග 18ක් වෙනුවෙන් ද ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ගණන ලකුනු 40ක්. කඩුළු 03ක් ඒ තරගවලදී ඔහු විසින් දවාගෙන තිබිණි.
ICC රීති අනුව, ක්රීඩකයෙකු වෙනත් රටක් නියෝජනය කිරීමට නම් වසර තුනක නේවාසික කාලයක් සම්පූර්ණ කළ යුතුය. ශෙහාන් මේ වන විට එම කාල සීමාව සම්පූර්ණ කරමින් සිටින බැවින් ඔහුට ඇමරිකානු කණ්ඩායමට ඇතුළත් වීමේ දොරටු විවර වී ඇත.
ඇමරිකාවේ පැවැත්වෙන දේශීය තරඟාවලි වලදී ශෙහාන් ජයසූරිය පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති අතර, එය ඔහුට ජාතික කණ්ඩායමට පිවිසීමට ශක්තිමත් පදනමක් වී තිබේ.
ශෙහාන්ට අමතරව ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ප්රනාන්දු වැනි තවත් ශ්රී ලංකා ක්රීඩකයින් කිහිප දෙනෙකුම ඇමරිකානු ක්රිකට් පිටියේ දස්කම් දක්වමින් සිටිති. ශෙහාන් ජයසූරියගේ අත්දැකීම්, වර්ධනය වෙමින් පවතින ඇමරිකානු ක්රිකට් කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.







