දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ට එරෙහිව මන්නාරම පොලීසියට ඊයේ ( 3 ) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
ඔහු සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට ඇත්තේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා තමන්ට අපහාසවන අන්දමට විවිධ චෝදනා පදනම් විරහිතව ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන බවයි.
යාපනය වවුනියාව යන පළාත් වලදී මේ වන විට අවස්ථා කීපයකදීම මේ ක්‍රියාව සිදු කොට ඇති බව චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කොට තිබේ. සුමන්ත්‍රිරන් මන්ත්‍රීවරයා උපුටා දක්වමින් එම ප්‍රකාශ බොහෝ දෙමළ මාධ්‍යවල පල වූ නිසා තමන්ගේ කීර්තියට හා දේශපාලන ගමනට විශාල කැලලක් සිදුව ඇති බව නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉටු කොට දෙන ලෙසද ඔහු පොලීසියේ කරන ලද පැමිණිල්ල මගින් ඉල්ලීමක් කොට ඇත.
මේ පැමිණිල්ලෙන් පසුව අදහස් ප්‍රකාශ කළ නිර්මලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා වත්මන් රජයේ හා ජනාධිපතිවරයාට සම්බන්ධ නඩු කීපයකට පෙනී සිටිමින් රජයට සහය ලබා දීම නිසා දෙමළ දේශපාලන පක්ෂවල සෙසු මන්ත්රීවරුන්ව ඔහු විසින් හෑල්ලුවට ලක් කිරීමට පටන් ගෙන ඇති බවයි.
දෙමළ මන්ත්‍රීවරු කවරෙකු හෝ කිසිම රජයකින් අමාත්‍ය තනතුරු ලබා නොගන්නා බවට ගිවිස ඇති මොහොතක සුමන්තිරන් මන්ත්‍රීවරයා එවැනි අමාත්‍යධූරයක් ලබා ගැනීමේ වරදක් නොමැති බව යාපනයේදී ප්‍රකාශ කළ අතර ඊට තමන් විරුද්ධ වූ දිනයේ සිට තමාට එරෙහිව ඔහු අසත්‍ය හා මඩ ප්‍රචාර ගෙන යන බවද චාර්ල්ස් නිර්මලනාදන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියි.







